Monday, February 17, 2014

සන්නස්ගල වතගොත


අප අතර සිටි මහා වියතෙකු වූ පුඤ්චි බණ්ඩාර සන්නස්ගලයන් ගේ වතගොත මෙයින් සඳහන් වනු ඇත.සිංහල සාහිත්‍යයට,සිංහල ජාතියේ චිරාත් කාලීන පැවැත්මට මෙතරම් සේවයක් කළ වියතුන් අද සමාජයේ නම් සොයාගැන්මට නොමැත.


මහාචාර්ය පුඤ්චි බණ්ඩාර සන්නස්ගලයන්

sannasgalawathagotha by sinhalaebooks

මහනුවර රජගෙදර සූපශාස්ත්‍ර පොත හා සිංහල සූපකලා සාහිත්‍යය


අප අතර සිටි මහා වියතෙකු වූ පුඤ්චි බණ්ඩාර සන්නස්ගලයන් විසින් අපමණ වෙහෙසක් දරා සම්පාදනය කරන ලද කෘතියකි.මෙය අද අපට හමුවන පරිදි ගෘහනියන්ට උයන්නට කියා දෙන කුකරි පොතක් නම් නොවේ.බුදුදහමින් පෝෂණය වූ සිංහලයාගේ සභ්‍යත්වය කියා පාන මහාර්ඝ කෘතියකි.මේ එම ග්‍රන්ථයෙන් උපුටා ගත් කොටසකි.
..."මේ අනුව සිංහල සූපකලාව නම් තමන් ජීවත්වන භුමිභාගය උපකාර කරගෙන,ප්‍රධාන වශයෙන් ගොවිතැන් මගින් ආහාරය නිපදවා ගනිමින් ශරීරයට හිතකර බව හා මානසික සතුට වර්ධනය වන පරිදි රසවත්ව හා විවිධත්වයෙන් එම ආහාරය පිළියල කරගත් ක්‍රම හා තමන් ඇසුරෙහි සිටි සෙසු පිරිසත් සමග බෙදා හදා අනුභව කිරීමෙන් ජීවිතය පවත්වා ගත් සච්චාරිත්‍ර ක්‍රියාවලියකින් පරිපූර්ණ වූවක් විය.ධර්මානුකුලව හා සදාචාර සම්පන්නව එම සූපකලා විෂයෙහි සිංහල ජාතිය මුලපටන්ම හික්මීම ලබා ඇත.බුදුදහමේ වරමින් ලද එම විශිෂ්ටත්වය අනිත් සමයවාදී ලෝක ජාතින් අතර නොපෙනේ."

එබැවින් අප ඔබට ආරාධනය කරන්නේ එහි පෙරවදන කියවා සිටින ලෙසය.දශක ගණනාවක් තිස්සේ අපමණ වෙහෙසක් දරා සම්පාදනය කළ කෘතියක් මෙලෙස අපගේ බ්ලොග් අඩවියට එකතු කරන්නේ අද වනවිට මෙවන් කෘතියක් මුද්‍රණයෙන් පිටවීම සිදු නොවන නිසාය,ඒ මෙවන් කෘති වලින් ලාභ ලැබීමක් අපේක්ෂා නොකළ හැකි නිසාය.එතුමා එදා මෙම කෘතිය මුද්‍රණයෙන් පළ කිරීමට දැරූ උත්සාහය පෙරවදනේ අග කියැවෙයි.
..."මෙසේ මේ පොත පසුගිය දසක දෙකකට අධික කාලයක් තුළ වරින්වර සකස්වෙමින් ආවක් බව සැලකුව මනාය.එම කාලය තුළ මේ පොත මුද්‍රණය කරවීමට මා දැරූ තැත අනන්තයි අප්‍රමාණයි.එහෙත් එය හුදු මහන්සියකුත් සිත් තැවුලකුත් වූවා පමණි.මුහුණ පෑ මේ අපහසුව ගැන සිතනවිට ,සාහිත්‍යය වර්ධනයට හිතකර විවිධ පොත්පත් ලිවීමට මෙරට වියතුන් ගන්නා ශ්‍රමය ඵල ගැන්වීමට මුද්‍රණ පහසුකම් මේ රටේ සැලසී නොතිබීම,සිංහල සමාජය තවදුරටත් සාහිත්‍යයෙන් පස්සට තල්ලුවී යෑමට හේතු වී ඇතිබව පෙනී යනවා ඇත".

සිංහල ජාතියට,සංස්කෘතියට ආදරය කල,එහි චිරාත් කාලීන පැවැත්ම අපේක්ෂා කළ ඒ සඳහා කැප කිරීම් කළ මෙවන් වියතුන් අද අප සමාජයේ හිඟය.නැත්තටම නැත කියාත් කිව හැක.අද ඇත්තේ නොදන්නා කම නිසා හෝ ලාභ තකා සිංහල කමට වෛර කරන, සිංහලයා ම්ලේච්ඡයෙකු බව ලෝකය පුරා හංවඩු ගැසීමට කොන්තරාත්තු ගෙන ඇති,තම බඩ වියත රැක ගැනීමට පමණක් සැදී පැහැදී සිටින ඩොලර් වලින් යැපෙනා NGO බත් බැලයන් වන බටහිර දැනුම අනුවම සිතනා සරසවි ඇඳුරන් පිරිසකි.
මෙහි අග මහැදුරු සන්නස්ගලයන්ගේ වතගොත අඩංගු කොටසක් ද වේ.එය වෙනමත් පහසුව තකා පළ කර ඇත.

Supasastrha by sinhalaebooks

Sunday, February 16, 2014

සිංහල රට ගැන කේ.ජී කරුණාතිලකයන්ගේ අදහසක්

ඔබ බොහෝ දෙනෙක් කේ.ජී කරුණාතිලකයන් පරිවර්තනය කළ පොත් කියවා ඇති සිතමි.වානරයන්ගේ ටාර්සන් ආදී ටාර්සන් නවකතා ද ,වෙනත් ඉංග්‍රීසි සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ කෘතීන් ද සිංහලයට පරිවර්තනය කරන ලද එතුමා ක්‍රි.ව 2001 දී අභාවප්‍රාප්ත විය.
මේ එතුමන් 1997 දී පරිවර්තනය කර ප්‍රකාශයට පත්වුණු "ටාර්සන්ගේ පුත්‍රයා" නම් පොතෙහි පෙරවදනෙන් කොටසක් , ඔබම කියවා බලන්න, අද මේ දේ කොපමණ සත්‍ය වී තිබේද යන්න.

"ඉහත සඳහන් කළ පරිදි අපගේ තරුණ පරපුර සාහිත්‍යය යෙන් ඈත් වීමට එක් හේතුවක් වුයේ,ඔවුන්ගේ රුචියට ද ,වයසටද ,මානසික මට්ටමටද ගැළපෙන රසවත් පතපොත නිෂ්පාදනය නොකිරීමය. එය හැර මේ තත්ත්වය ඇති කර ලීමට තවත්ද ප්‍රබල හේතුවක් තිබෙන බව මෙහි ලා සඳහන් කල යුතුය.එනම් අපගේ පාඨශාලා විෂය මාලාවෙන් සාහිත්‍ය ඉවත් කිරීම හෙවත් සාහිත්‍ය කප්පාදු කිරීමයි. පාඨශාලා විෂය මාලාවෙන් මෙසේ සාහිත්‍ය කප්පාදු කිරීම නිසා අපගේ තරුණ පරම්පරාව කෙරෙන් කියවීමේ රුචිය නැතිවී ගියේය.ඉක්බිතිව ඊටද වඩා බරපතල හානියක් ජාතික වශයෙන් සිදු වුයේය.සාහිත්‍ය යට පමණක් නොව ,වෙනත් කලා විෂයයන්ටද කුඩම්මාගේ සැලකිල්ල දැක්වීමෙන්,පිට රැටියන්ටත් ,පිටරටවලටත් නිවට නින්දිත දීනයන් සේ ගැතිකම් දක්වන අපගේ ඊනියා “අධ්‍යාපනඥයන් “ සිංහල ජාතියට කළේ මහා විපත්තියකි.

කලා විෂයයන් අතර,සාහිත්‍ය ට ලැබෙනුයේ ප්‍රධාන ස්ථානයයි.මිනිසා සංවේදී බවට පත් කරන්නේද,මිනිසා තුළ මුදු මොළොක් හැගීම් ජනිත කරන්නේද,ඊර්ෂ්‍යාව,ක්‍රෝධය,මාත්සර්යය,වෛරය හා පළිගැනීම ආදි දුර්ගුණ මිනිස් සිත් සතන් වලින් තුරන් කොට,කරුණාව මෛත්‍රිය දයාව දාක්ෂිනයය ආදි සත්ගුණ මිනිසා තුළ රෝපණය කරන්නේද සාහිත්‍යයි. මේ සිංහල රටත්,මේ සිංහල ජාතියත් සුඛිත මුදිත කිරීමට නම් ,නිදහස් හා නිවහල් කිරීමට නම්,අදීන හා අභිමානවත් කිරීමට නම් ප්‍රෞඩ හා ප්‍රතාපවත් කිරීමට නම් කිසිම දෙයක් සෑදීමට පෙර අප සිංහල මිනිසා සෑදිය යුතුය.

මා මෙහිදී ,අප වාසය කරන මේ රටට සිංහල රට යැයි කීවේ,සැබවින්ම මෙය සිංහලයාගේ රට වන හෙයිනි. මේ රට එකල හැදින්වුයේ සිංහලේ නමිනි .සිංහලයාගේ මේ රටට ලංකාව කියා හෝ ශ්‍රී ලංකාව කියා හෝ කීමට මම නොකමැත්තෙමි. මෙය ලංකාවක් හෝ ශ්‍රී ලංකාවක් නොව සිංහල ද්වීපය වෙයි.මේ අපගේ රටට ශ්‍රී ලංකාව යැයි කියනුවට වඩා ඉංග්‍රීසියෙන් කියන්නාක් මෙන් සිලෝන් යැයි කීමට මම කැමැත්තෙමි.කුමක් නිසාද යත් සිලෝන් යන්නෙහි “සිංහල ද්වීපය”යන්න අන්තර්ගතව ඇති හෙයිනි.අන් වචන වලින් කිවහොත් සිලෝන් යන වචනය සෑදී ඇත්තේ සිංහල ද්වීපය යන වචන දෙකෙන් හෙයිනි.ඒ මෙසේය .මුලින්ම මේ ද්වීපයට සිංහලයාගේ ද්වීපය යන නම ව්‍යාවහාර වූයේය.ඒ ක්‍රිස්තු වර්ෂ දෙවන තුන්වන ශතවර්ෂ වලටද ඉහතදීය.ඒ කාලයේ සිංහල ද්වීපයට වෙළෙදාම් පිණිස පැමිණි අරාබි ජාතිකයින් තමන්ට සිංහල ද්වීපය යන්න නියම අන්දමින් උච්චාරණය කළ නොහැකිවූ බැවින් සිංහල ද්වීපය යන්න සෙලෙන්දිවු යන්නට හරවා ගත්තෝය.පසු කාලයකදී මෙහි පැමිණි මුසල්මානුවෝ මේ නම සෙලාන් යන්නට පෙරලා ගත්හ.ඊට පසු කලෙකදී මෙහි පැමිණි පෘතුගීසි,ඕලන්ද හා ඉංග්‍රීසි ජාතිකයෝ ඒ සෙලාන් යන්න සිලෝන් යන්නට හරවා ගත්හ.සිංහල ද්වීපය යන්න කාලයාගේ ඇවෑමෙන් සිලෝන් වූ හැටි මෙයින් ඉතා පැහැදිළිව පෙනී යයි.මේ අපගේ ද්වීපයට ශ්‍රී ලංකාව යැයි කීමට වඩා සිලෝන් යැයි කීම මනා යැයි මා කීවේ එ හෙයිනි.එහෙත් බිදී ආ වචනයකට වඩා “සිංහල ද්වීපය”යන්නම අපගේ මාතෘ භුමීය වෙනුවෙන් ව්‍යවහාර කිරීම උචිත යැයි මම සිතමි.

මේ සිංහල ද්වීපයට “ශ්‍රී ලංකාව යැයි ව්‍යවහාර කිරීම නිසා සිංහලයාට තමා සිංහලයා යැයි කීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. රටේ නම අනුව ඔහු කිව යුත්තේ,තමා ශ්‍රී ලාංකිකයෙක් යැයි කියාය. ඒ අනුවම මෙහි වසන දෙමළු ද,මරක්කලයෝ ද, වෙනත් ජාතිකයෝ ද ශ්‍රී ලාංකිකයෝ වෙති.මෙහිදී සිංහලයාගේ අනන්‍යතාවයට සිදු වනුයේ කුමක්ද? මේ නම අනුව අප ගේ ඉතිහාසඥයෝ ද පුරාවිද්‍යාඥයෝ ද තම තමන් ගේ කෘතිවලට “ශ්‍රී ලාංකික ඉතිහාසය “ “ශ්‍රී ලාංකික පුරාවිද්‍යාව “ යනුවෙන් නම් යොදා ගනිති.”ශ්‍රී ලාංකික ඉතිහාසයක්” හෝ “ශ්‍රී ලාංකික පුරාවිද්‍යාවක් “ මේ සිංහල ද්වීපයේ තිබුනේ කවර කලෙකද ?දෙමළ ජාතික ආනන්ද කුමාරස්වාමි මහතා ,සිය මහා ග්‍රන්ථය නම් කෙළේ ,”මධ්‍ය කාලීන සිංහල කලා ශිල්ප “යනුවෙන් විනා,”මධ්‍ය කාලීන ශ්‍රී ලාංකික කලා ශිල්ප” යනුවෙන් නොවේ.

සිංහලයාට ඉපැරණි ඉතිහාසයක් ඇත්තේය.සිංහලයාගේ ලේඛන කලාව ක්‍රිස්තු පූර්ව තුන් වන ශත වර්ෂයේ සිට මේ මා ලියන මොහොත දක්වා අඛණ්ඩව පවත එන්නකි.සිංහල ජාතියද ඒ තරම්ම පැරණිය.වෙනත් වචනවලින් කිවහොත්,සිංහල ජාතිය තරම් පැරණි ජාතියක් ලෝකයේ කිසිම රටක නැත.සිංහල ජාතිය ශත වර්ෂ විසි පහක පමණ කාලයක් තිස්සේ අඛණ්ඩව පවත ගෙන එන්නකි.වර්තමාන ග්‍රීකයෝ පැරණි ග්‍රීකයන්ට වඩා මුළුමනින්ම වෙනස් වුවෝ වෙති.වර්තමාන ග්‍රීක ලේඛනය පැරණි ග්‍රීක ලේඛනයට හාත් පසින්ම වෙනස්ය.වර්තමාන රෝමකයා පැරණි රෝමකයාට වඩා මුළුමනින්ම වෙනස්ය.චීනය ගත ද ජපානය ගත ද වෙන අන් ඕනෑම රටක් ගත ද තත්ත්වය එ සේමය.

එහෙත් සිංහලයා සම්බන්ධයෙන් එය එසේ නොවේ.සිංහලය සතුව අද පවතින්නේ ද එදා පවතී ක්‍රිස්තු පූර්ව තුන් වන ශත වර්ෂයේ ලේඛන ක්‍රමය මය.එය කාලයා සමඟ ක්‍රමයෙන් වෙනස් වී ,ක්‍රමයෙන් විකාශනය වී වර්තමාන තත්ත්වයට පත් වී තිබෙන සැටි ඕනෑම කෙනෙකුට වටහා ගත හැකිය.සිංහලයා ද එසේමය. අද සිටින්නේ එදා සිටි සිංහලයා මය .ශත වර්ෂ විසි පහකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩවම පැවත එන ලේඛන ක්‍රමයක් ද,චාරිත්‍ර වාරිත්‍ර හා සංස්කෘතියක් ද ඇති අඛණ්ඩවම පැවත එන එකම ජාතිය සිංහල ජාතියයි.

මේ බව අද සිටින වර්තමාන සිංහලයා වටහා ගත යුතුය.පරජාතිකයන් ගෙන්ද ,සිංහලයා අතර සිටින ජාති භ්‍රෂ්ට ජාති ද්‍රෝහී සිංහලයන් ගෙන් ද කෙතරම් නින්දා ,අවමාන ,ගැරහුම් හා පරිභව ලැබුවද,සිංහලයා ප්‍රෞඩ ,ප්‍රතාපවත්,ගුණ ගරුක ,ප්‍රතිපත්ති ශීලී මනුෂ්‍යයකු බව අප වටහා ගත යුතුය.තම පරම සතුරා ,හේතු යුක්ති ඇතිවම මරා හෙළු තැනින් ,යාන වාහන වලින් ගමන් කිරීමත් පා වහන් ලා ගමන් කිරීමත් පසඟතුරු ගොසින් යෑමත් තහනම් කෙළේ වීරෝදාර සිංහල නරපතියෙකි.එවැන්නක් කළ එක ද නරපතියෙකු මුළු මහත් ලෝක ඉතිහාසයෙන් ම සොයා ගත හැකිද?රටත් ජාතියත් ආගමත් ගළවා ගනු පිණිස,තමා ගමන් කළ රථයෙන් බැස ,සතුරු පිරිස මධ්‍යයේ දී පා ගමනින් ගමන් කෙළේ ,පැරණි සිංහල වීරෝදාර කාන්තාවකි.ලෝක ඉතිහාසයේ කුමන ජාතියකින් ඒ බඳු කාන්තාවක් සොයා ගත හැකිද? කාමයෙන් හා කෝපයෙන් නොමඟ ගිය වඩුග රජුගේ නොමිනිස් අණ නිසා,මරණීය දණ්ඩනයට නියම වුණු සය අවුරුදු දරුවා,ගහලයා දෙසට හැරී,”ගහලය ,එකම කඩු පහරකින් මගේ ගෙල සිඳ දමව!” යි කීවේද කටේ කිරි සුවඳ නොගිය සිංහල කොලු පැටියෙකි. ඒ බඳු කොලු පැටියෙකු මුළු මහත් ලෝක ඉතිහාසයේ කුමන ජාතියකින් සොයා ගත හැකිද?

මා මේ අතීතය සිංහලයාට මතක් කරන්නේ,ඔහු උදාර ඉතිහාසයකට,අභිමානවත් ජාතියකට,ප්‍රතාපවත් වීර ස්ත්‍රී පුරුෂයන් ගෙන් පූර්ණ පරම්පරාවකට,උරුම කියන්නෙකු බව පහදා දීමටය.සිංහලයාගේ උදාර වූ ද,කරුණා ක්ෂමා දයා දාක්ෂිනයාදී මහඟු වූ ද ගුණ ධර්ම නිසා,පරජාතින් ඔහුගේ හිසට අත සෝදන්නට ගියද සිංහලයා කී කලෙක වත් නිවට නෝන්ජල් නෝණ්ඩියකු නම් නොවූයේය.

සාහිත්‍ය ,ඉතිහාසය ,පුරාවිද්‍යාව,ජනශ්‍රැතිය හා වීර චරිතාපදාන ආදිය,ජාතියක් එකට බැඳ තබන බැමි වෙයි.මේවා හාස්‍යයට ලක් කිරීමෙන් ද මේවට බැණ වැදීමෙන්ද මේවා හෑල්ලු කොට අවතක්සේරු කිරීමෙන්ද සිදුවනුයේ ,ජාතිය එකට බැඳී ඇති බැමි සිඳී,ජාතිය සී සී කඩ වී අබල දුබල වී විසිරී යෑමය.සාහිත්‍ය දැනටම කප්පාදු කර ඇත.සිංහල ඉතිහාසය සිංහල දරුවන්ට ඉගැන්වීම නතර කිරීමට දැන් කටයුතු පිළියෙළ කරගෙන යයි.සිංහල ජාතියේ ඇසට වැලි ගැසීම දැන් කලෙක සිට පවත්නා සුක්ෂම ක්‍රියාවලියක් බව කිව යුතුය.

සිංහල ඉතිහාසය,සිංහල ළමයින්ට ඉගැන්වීම නතර කරන්නට යන්නේ ජාතික සමගිය උදෙසා යැයි කියති.එහෙත් අප සිතන අන්දමට නම් එයින් සිදු වන්නේ උදාර ගති ගුණවලින් පිරිහුණු,රටක් ජාතියක් ආගමක් නැති මුල් සිඳුණු,නරුමයන් රැළක් බිහිවීම පමණි.ජාතික සමඟිය උදෙසා කළ යුත්තේ සිය ජාතික ඉතිහාසය ළමයින්ට උගන්වන අතරම,අන් ජාතිකයන්ගේ ඉතිහාසයට ගරු කිරීමට ද ඉගැන්වීමය.සිය ජාතික ඉතිහාසය තරම් ම අන් ජාතිකයන්ගේ ඉතිහාසය උසස් යැයි වටහා දීමය.ජාතික සමඟිය ඇති කළ හැක්කේ එ බඳු ක්‍රියා මාර්ගයකිනි.නො ඒ සේව ,ඉතිහාසය මුළු මනින්ම නූගන්වා සිටීමෙන් නොවේ.

තමන් කුශාග්‍ර බුද්ධිමතුන් යැයි සිතා ගෙන සිටියද,කිසිවෙකුට තමන් නොරැවටිය හැකි තරමට තමන් ශඨ කූට කපටි කෛරාටිකයනැ යි සිතා ගෙන සිටියද,සැබවින්ම අදුර දර්ශි,අත්තනෝමතික,ආත්මාර්ථකාමී,ජාති ද්‍රෝහී,ජාති භ්‍රෂ්ට,අන්ත මූඪයන් වන සිංහලයන් අතළොස්සක් පෙරටු කර ගෙන පරජාතිකයින් ගෙන යන්නා වූ කූට ප්‍රයෝගයන් නිසා,ශත වර්ෂයක් ඇවෑමෙන් සිංහලයාගේ ආයාමය ද අභාවයද සිදු වනු ඒකාන්තය.මුලින්ම සිදුවනුයේ සිංහල නාමය අහෝසි වී ඔහු ශ්‍රී ලාංකිකයා වීමය.ඊ ළඟ අවධිය වනුයේ, ශ්‍රී ලංකිකයා වන සිංහලයා මුළු මනින්ම අභාවයට පත් වීමය.ඉක්බිතිව සමස්ත මහා ධරණී තලයේම සිංහල නාමයක් අසන්නට වත් නොලැබෙනු ඇත.

අතීතයෙහි මහා සමෘද්ධියකින් හා සෞභාග්‍යයකින් ඉතා බලසම්පන්නව විසු මහා ජාතීහු,පරසතුරු උපද්‍රවවලින් හෝ අදුර දර්ශි ස්වදේශිකයන්ගේ පිළිකුල් කටයුතු ක්‍රියාවලින් හෝ අභාවයට පත්වීමෙන් අද දක්නට නොමැත්තාහ.අතීතයේ විසූ හිටයිට්ස්වරු අද කොහිද?අතීතයේ විසූ මෙසපොතේමියානුවෝ අද කොහිද?බැබිලෝනියන් වරු අද කොහිද?කැල්ඩියන්වරු අද කොහිද?පුරාණ මිශ්‍ර දේශ වාසීහු අද කොහිද?ඇසිරියන්වරු අද කොහිද?ෆිනිශියන්වරු අද කොහිද? ඒ සියලු ම ජාතින් අද අභාවයට පත්ව ඇත්තාහ.අද අවශිෂ්ට වී ඇත්තේ,ඔවුන් තැනූ ගොඩ නැගිලිවල නෂ්ටාවශේෂ පමණි.සිංහලයාද ළඟ එන්නා වූ ශත වර්ෂයේ දී අභාවයට පත් වූ කළ,ඔහු තැනූ මහා ගොඩ නැගිලි පමණක් අවශිෂ්ට වනු ඇත.

එහෙත් මේ අතින් බලන කළ ද,බැබිලෝනියන්වරුන්,කැල්ඩියන්වරුන් හා ඇසිරියන්වරු වැනි පුරාණ ජාතීන් සිංහලයන්ට වඩා භාග්‍යසම්පන්නයන් බව පෙනේ.කුමක් නිසාද යත්,ඔවුන්ගේ නම්වලින්ම ඒ නම් බැබිලෝනිය නෂ්ටාවශේෂ,කැල්ඩියානූ නෂ්ටාවශේෂ හා ඇසීරියානු නෂ්ටාවශේෂ යන නම්වලින් හඳුන්වනු ලබන හෙයිනි.එහෙත් සිංහල ජාතියේ මළගමින් පසු ,සිංහලයන්ගේ නෂ්ටාවශේෂ හදුන්වනු ලබන්නේ “ශ්‍රී ලාංකික නෂ්ටාවශේෂ “යනුවෙනි.ජාති ද්‍රෝහී ,කාලකන්ණි මූසල සිංහලයන් අතළොස්සක් නිසා,සිංහලයන්ගේ නෂ්ටාවශේෂ වලට පවා සිංහල නාමය නොලැබෙනු ඇත.එවිට ඒ උදාර ගොඩනැගිලි කර්මාන්තාදියට දෙමළුන් ද මරක්කලයන් ද හවුල් වූ හයි අනාගත පරපුර සිතනු ඇත.

අනගාරික ධර්මපාල උතුමාණන් ,වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමි පාණන් ,හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමි පාණන් ,වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි පාණන් ,පියදාස සිරිසේන මහා ලේඛකයාණන් ,මුනිදාස කුමාරතුංග මහා ශාබ්දිකයාණන් ,එල්.එච් මෙත්තානන්ද මහතාණන්,ඊ .ඩබ්ලිවු. පෙරේරා මන්ත්‍රීවරයානන් ,ජේම්ස් පීරිස් ශ්‍රීමතාණන්,වාරියපොළ සුමංගල මාහිමි පාණන්,ඩී.බී.ජයතිලක ශ්‍රීමතාණන් ,ටිබෙට් එස් .මහින්ද හිමිපාණන් ආදීන් සිටිය යුත්තේ අදය.ඔවුන්ගේ පුනරාවතාර හෝ මතු වෙත් නම්,සිංහලයාට කෙතරම් භාග්‍යයක් ද? "

Saturday, February 15, 2014

අනගාරික ධර්මපාලතුමා ගැන මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ලියූ ලිපි

මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් රචිත මෙම ලිපි අනගාරික ධර්මපාල තුමා යනු කවුරුන් දැයි මොනවට කියාපායි.එතුමන්ටත් පොදුවේ සිංහල බෞද්ධයන්ටත් ආගම් පිස්සන්, ආගම් වාදීන්, ජාති වාදීන් යයි චෝදනා කරනා අයට මෙය ඉතා හොඳ පිළිතුරක් සපයයි.(උපුටා ගැනීම--අපේ වියත් පරපුර හා භාෂා සමාජ පරිණාමය )

Anagarika dhampala by sinhalaebooks

අනගාරික ධර්මපාල තුමන් ,දේවප්‍රිය වලිසිංහ තුමන් හා වලිසිංහ හරිස්චන්ද්‍ර තුමන් ගැන ලියැවී ඇති පොත් කිහිපයක්


මෙහි ඇත්තේ ජාතියේ පියා වන අනගාරික දම්පල් තුමන් හා එතුමන් මඟ ගිය උතුම් පුරුෂයන් දෙපලක් වූ බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා සහ දේවප්‍රිය වලිසිංහ තුමන් ගැන ලියැවුණු පොත් කිහිපයකි.