Saturday, June 28, 2014

අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත හිමි කෘති එකතුව

මේ දෙනගම සිරිවර්ධනයන් පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත හිමියන් ගැන ලියූ ලිපියකි.

බුරුමයේ මෝබින් නගරය අසල කුඩා පැල්පතෙක බුරුම අගමැති ඌනු මහතා දෙසතියක්ම විපස්සනා භාවනාවේ යෙදුණේය. භාවනාවෙන් නැඟි සිටි එතුමාට රැන්ගුන්හි මහා ශාලාවේ පැවැත්වෙන ධර්ම දේශනාවක් ගැන අසන්නට ලැබී ඔහු එතැනට ගියේ ය.

මහා ශාලාව එකම හිස් ගොඩකි. ඉ‍ඩක් ඇති තැනක් බලා, බිම එළූ පලසක් මත හිඳගත් ඔහු බණ අසන්නට විය.

වියත් බුරුම බසින්, එහෙත් ඉතා සරලව, අභිධර්මය පිළිබඳව පැවැත්වෙන දෙසුමකි. වේලාව ගතවනු නොදැනිණ. තුන් පැයක් ම ගෙවිණ.

කවුද මේ හිමියෝ? මේ මා නොදන්නා වනවාසයක සිට වැඩම කළ බුරුම මහ තෙරනමක් විය යුතුයි. ඔහු බණ අවසන් වූ පසු අසල සිටි ඇමතියකුගෙන් විමසීය.

“ඔය ලංකාවෙන් වැඩම කළ හාමුදුරුනමක්...”

අගමැති තුමා උන්වහන්සේ ගේ පාමුල වැටී වැඳ නමස්කාර කොට මෙසේ කීය.

“මේ තරම් හොඳින්, අපේ බසින් අභිධර්මය දේශනා කළ ආකාරය හරිම අගෙයි. ස්වාමීනි, හෙට දවල් දානයට අපේ නිවසට වැඩම කළ මැනවි.”

හිමියෝ ඇරියුම පිළිගත්හ.

බුරුම බසින් දහම් දෙසා අගමැති පමණක් නොව, මුළු බුරුමයම සිය වසඟයට ගත් මේ සිංහල ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පසු කලෙක බුරුමයේ උසස්ම සම්මානය වූ අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලැබු ආසියාවේ, යුරෝපයේ බුදු දහම පතුරුවා ලීමේ මහ මෙහෙයේ යෙදුණු සිංහල, පාළි, බුරුම සහ ඉංග්‍රීසි යන සිව් බසින්ම ධර්ම ප්‍රචාරයේ යෙදුණු, ඒ සිව් බසින් ම ධර්ම ලේඛනයේ ද යෙදුණු අම්බලම්ගොඩ පොල්වත්තේ අග්ගාරාමාධිපති අති පූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත මහ නා හිමියෝ යි.
* * *
1887 ජූලි 23 වැනිදා අම්බලම්ගොඩ පොල්වත්තේ දී ඒ දරුවා උපන්නේ ය.

වඩු කාර්මිකයකු වූ ඔහුගේ පියා ඕබඩගේ ලුවිස් සිල්වා මහතා ය. මව තුයියාගම්හේවා සාංචිහාමි මහත්මියයි. මේ දරුවාට අයියලා හතර දෙනෙකි. ඔහු පොල්වත්තේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ ශිෂ්‍යයෙක් විය. ඔහු පාඨශාලාවේ තුන්වන පන්තියේ සිටියදීය ඔහුගේ මව මිය ගියේ. පස්වැනි පන්තිය සමත් වූ පසු අම්බලම්ගොඩ ඉංග්‍රීසි පාඨශාලාවට ඔහු ඇතුළු කැරිණ. පසු කලෙක ධර්මාශෝක විද්‍යාලය වූයේ එයයි.

මේ දරුවා ගේ සිතේ පැවිදි බිමට ඇල්මක් තිබිණ. පියා ද ඒ ඇල්මට ඉඩ දුනි. අම්බලම්ගොඩ අග්ගාරාමයේ ශ්‍රී ධර්මාධාර රාජගුරු මහා ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයකු වශයෙන් මේ දරුවා 1899 නොවැම්බර් 02 වැනිදා පොල්වත්තේ බුද්ධදත්ත නමින් පැවිදි බිමට පත්වූයේය.

ලෝ පතළ ධර්ම දේශකයකු වූ ධර්මාධාර හිමියන්ගේ ජීවිතයෙන් අඩක් ම ගෙවුණේ විදෙස් රටවල ය. අනගාරික ධර්මපාල තුමා ඉන්දියාවට යන විට ද මේ හිමියෝ ඒ රටෙහි දහම් දෙසමින් වැඩ සිටියහ. පසුව ධර්මපාල තුමා සමඟ එක්ව ඉන්දියාවේ පාළි භාෂාව පැතිරවීමට කටයුතු කළහ. තාගෝර් කිවියාණන්ගේ ශාන්ති නිකේතනයේ පාළි සහ බෞද්ධ න්‍යාය පිළිබඳ කථිකාචාර්ය තනතුරක් ද දැරූහ. උන්වහන්සේට තාගෝර් තුමාගෙන් ‘ශ්‍රී සද්ධර්මවාගීෂ’ යන සම්මානය ලැබිණ. කල්කටා විශ්ව විද්‍යාලයේ සංස්කෘත මහාචාර්ය විධුශේඛර භට්ටාචාර්ය තුමා ධර්මාධාර හිමියන්ගේ ශිෂ්‍යයෙකි. බුරුම, කාම්බෝජ රටවල පාලකයෝ ද මේ හිමියන්ගේ හිතවත්තු ය. කිසිදු විවේකයක් නොදෙමින් උන්වහන්සේ සිය ශිෂ්‍යයාට පොල්වත්තේ බුද්ධදත්ත පොඩි හාමුදුරුවන්ට ධර්ම, ශාස්ත්‍ර, භාෂා දැනුම ලබා දුන්හ. පසළොස් හැවිරිදි වන විට බුද්ධදත්ත පොඩි හාමුදුරුවන්ට පාළි වරනැඟිල්ල, බාලාවතාරය, ධාතු මඤ්ජුසාව, පාළි නිඝණ්ඩුව, ධම්මපදය, සතිපට්ඨාන සූත්‍රය, වුත්තෝදය, අභිධම්මත්ථසංග්‍රහය, අභිධම්මමානිකා යන පොත් මුළුමනින්ම කට පාඩමින් කිව හැකි විය. ධම්මපදට්ඨකතා, මහාබෝධිවංශ, රසවාහිනී, අත්තනගලුවංශ, බාලාවතාර, වුන්නෝදය, යන පොත්වලට අර්ථ කියා පාළි භාෂාව කියවා වටහා ගැනීමේ ශක්තිය උන්වහන්සේට තිබිණ. සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ග්‍රන්ථ ද කියවා රස විඳීමට උන්වහන්සේට හැකි විය.

1903 දී, වයස අවුරුදු 15 දී අපේ පොඩි හාමුදුරුවෝ සිය ආචාර්ය පාදයන් සමඟ බුරුමයට වැඩියහ.

සංල්වින් ගඟ බඩ කොන්හන් මහා විහාරාධිපති සාගරඥාන නා හිමියන්ගේ ශිෂ්‍යයකු බවට පත් වූ අපේ පොඩි හාමුදුරුවෝ බුරුම බස සහ අභිධර්මය උන්වහන්සේගෙන් උගත් හ.

අවුරුද්ද අවසානයේ කට පාඩම් විභාගයක් තිබිණ. ඌනා ඖ නමැති බෞද්ධ සිටුවරයා දක්ෂතාවට තෑගි දුන්නේය. අභිධර්මාර්ථ සංග්‍රහයේ එක පරිච්ඡේදයක් කට පාඩම් දුන් විට ඒ මහතා රුපියල් 18 ක් දෙයි. කච්චායනය මුළුමනින්ම පාඩම් දුන් විට රුපියල් 50 කි. බුද්ධදත්ත පොඩි හාමුදුරුවෝ පොත් රැසක් කට පාඩම් දී රිදී රුපියල් 150 ක් ලැබූහ.

බුරුම අකුරෙන් ලියූ පුස්කොළ ජාතක පොත සහ අටුවාව සම්පූර්ණයෙන් කියැවීමට අප හිමියනට හැකි විය.

දෙවසරක් බුරුමයේ සිටි උන්වහන්සේ සිය ගුරු හිමියන් සමඟ ආපසු ලංකාවට වැඩම කළහ. බුරුම බසින් ලියැවුණු ත්‍රිපිටකය උන්වහන්සේට චීන උපාසකයන්ගෙන් තිළිණ ලැබිණ.
* * *
පොතක් ලියන්නැයි අප හිමියනට ගුරු හිමියෝ කීහ. 1905 දී අප හිමියෝ බුරුම සන්නය අනුව “අභිධර්ම මාතෘකා ස්වරූපය” නමින් සිංහලයෙන් පොතක් ලියූහ. 1962 වන විට උන්වහන්සේ ලියු පොත් ප්‍රමාණය 87 ක් විය. ඒ සිංහල, පාළි, බුරුම සහ ඉංග්‍රීසි බසිනි.

මුල් පොත ලියැවුණු වසරේ ම එතුමා ගේ පියා මිය ගියේ ය. 1906 දී යළි බුරුමයට වැඩම කළ අප හිමියෝ 1907 දී උපසම්පදාව ලැබූහ. ඒ සඳහා උපාධ්‍යායන් වහන්සේ වූයේ සාගර ඤාණ හිමි ය. බුරුම අර්ථ සහිතව පාළි නිගණ්ඩුව අප හිමියන් අතින් සැකැසිණ. එය බුරුම අධ්‍යයන මණ්ඩලයේ පිළිගැනීමට ලක්ව රට පුරා ම බෙදා හැරිණ. ඒ සමඟ ‘පාළි පාසප්පවේසිනී’ නමින් තවත් පොතක් බුරුමයන්ට පාළි ඉගෙනීම සඳහා ලියා පළ කළහ. ඉංග්‍රීසියෙන් පළවී තිබුණු පාළි පාඩම් පොත, රසවාහිනී, මහ පිරිත් පොත, විමුක්ති සංග්‍රහය, බුරුම බසට නඟන්නැයි බුරුම රජය කළ ඉල්ලීම ද අප හිමියෝ ඉටු කළහ.
* * *
“අභිධර්ම මාතෘකා ස්වරූපය” නමින් අප හිමියන් ලියු මුල් ම කෘතිය ලක්මිණි පහන කතුවරයා නිර්දය ලෙස විචාරයට හසුකොට 1911 ජුනි 17 වැනිදා සිය පුවත්පතේ ලිපියක් පළ කෙළේය.

“ඕං තව අභිධර්ම රුසියෙක්” යන මැයෙන් පළ කැරුණු ඒ ලිපිය උන්වහන්සේ සමච්චලයට ලක් කිරීමකි. අප හිමියෝ ‘දිනකර ප්‍රකාශය පුවත්පතේ පිළිතුරු ලිපියක් පළ කළහ. වාදය ඇවිළිණ.

දිවයිනේ සිටි ඉහළතම අභිධර්ම උගතා ලෙස පිළිගැනුණු ලක්මිණි පහන කතුවරයා සමඟ ගැටෙමින් දැක්වූ අදහස් නිසා පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ට උගතුන්ගේ අවධානය, සැලැකිල්ල යොමු විය.
* * *
එංගලන්තයේ පාළි පොත් සමිතියේ සභාපති මහාචාර්ය ටී. ඩබ්ලිව්. රීස් ඩේවිඩ්ස් මහතා බුද්ධදත්ත හිමියන් පාළියෙන් ලියු පොත් කියවා උන්වහන්සේට සමීප විය. අටුවා විස්තර රාශියක් ඉංග්‍රීසියට පෙරළා දෙන්නැයි එතුමා අප හිමියන්ගෙන් ඉල්ලා සිටියේය.

පාළි ගාථා 1855 කින් යුතු බුද්ධදත්තාචාර්යයන්ගේ නාමරූප පරිච්ඡේදය අප හිමි අතින් ඉංග්‍රීසියට නැඟිණ. එය එංගලන්ත පාළි පොත් සමාගම මුද්‍රණය කොට පළ කෙළේය. ඉන්පසු පාළි සහ බුරුම පොත් රැසක් අප හිමියෝ ඉංග්‍රීසියට නැඟූහ. ඒවා ලොව පුරා පැතිරුණේ ‘බුද්ධදත්ත’ නම ද සමඟය.

ජර්මන් ජාතික ඤාණතිලෝක හිමියෝ තමා ලියු සච්ච සංග්‍රහ ඉංග්‍රීසි කෘතිය සිංහල බසට නඟන්නැයි අප හිමියනට කීහ. ඒ ඉල්ලීම ද ඉටු කැරිණ. බුද්ධඝෝෂ හිමියන්ගේ විශුද්ධි මාර්ගය ද අප හිමියෝ ඉංග්‍රීසියට නැඟූහ.
* * *
දිගු කලෙක සිට පාළි ඉගැන්වීම ලංකාවේ සිදු වුවද ඒ සඳහා මාර්ගෝපදේශක පොත් නොවීය. මේ අඩුව පුරවනු සඳහා අප හිමියනට ඇරැයුම් කළේ මරදානේ ආනන්ද විදුහල්පති පී. ද ඇස්. කුලරත්න මහතා ය. උන්වහන්සේ ආනන්ද විදුහලේ පාළි ගුරුවරයා වූ පසු ළමයින්ට ඉගැන්වූයේ උන්වහන්සේම කලෙකට පෙර සකස් කළ “පාළි පාසප්පවේසිනි” පොතෙනි. එහිදී අප හිමියෝ බාලයන්ට ද ගැළපෙන සේ මුල සිට පාළි උගත හැකි වන අයුරින් ‘පාළිභාෂාවතරණය - මුල් පොත’ ලියා කුලරත්න මහතාට පිළිගැන්වූහ. එය පාළි ඉගැන්වෙන හැම තැනකම ප්‍රධාන අත්පොත විය. ඉන්පසු පාළි භාෂාවතරණය - 2 සහ පාළි භාෂාවතරණය - 3 ද පළ කැරිණ. පාළි පාඨාවලි, පාළි වාක්‍ය විවේචනය, පාඨම පාඨාවලි, යන පොත් ද උන්වහන්සේ ලියූහ. පසු කලෙක මෙරට බිහිවූ සියලු පාළි උගත්තු මේ පොත් ඇසුරෙන් ම ගොඩ නැඟුණහ.
* * *
එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, අවුස්ත්‍රියාව, ස්විට්සර්ලන්තය, යන රටවල ද උන්වහන්සේ ගේ පාඨකයෝ සිටියහ. ඔවුහු ඒ රටවලට අප හිමියන් කැඳවා ගත්හ. බුදුදහම පිළිබඳව ප්‍රශ්න ඇසූහ. බුදු දහමේ ඇති නිදහස, විමුක්ති සුවය දුටු ඔවුහු උපතින් තමා ලැබු ආගම අත්හැර බුදු දහමට යොමු වූහ.
* * *
ජර්මනියේ ගෛගර් පඬිතුමා අප හිමියන්ගේ හොඳ මිතුරෙක් විය. ලංකාවට පැමිණ සිංහල ශබ්ද කෝෂයේ වැඩ ඇරැඹු ඔහු සිය විවේක කාලය අප හිමියන් සමඟ ධර්ම සාකච්ඡාවේ යෙදීමට ගත කළහ.

ඉතාලියේ නේපලිස් විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යාඥ ජේ. ලොරැන්සෝ මහතා මජ්ඣිම නිකාය සම්පූර්ණයෙන් ඉතාලි බසට නැඟුවේ ය. ඔහු අප හිමි සමඟ ධර්ම සාකච්ඡාවේ යෙදුණේය. බුද්ධ චරිතය ඉතාලි බසින් ලියු ලුයිජි ස්වාලි මහතා ද අප හිමියන්ගේ මිතුරෙකි.
* * *
1928 නොවැම්බර් 08 වැනිදා අප බුද්ධදත්ත හිමියෝ ඔත්පලව සිටි අනගාරික ධර්මපාල තුමා බැලීමට කොළඹ ඇලෝ ඇවනිව් වලව්වට වැඩියහ. වෛද්‍යවරු එතුමාට කතාබහ තහනම් කොට තිබිණ. එහෙත් පොල්වත්තේ හිමි වැඩි බව ඇසු ධර්මපාල තුමා ලෙඩ අමතක කොට යුරෝපයේ ධර්ම ප්‍රචාරක කටයුතු ගැන විමසීය. පවතින බෞද්ධ ප්‍රබෝධය ගැන අසා මහත් සතුටට පත්වූයේය. හඬ නඟා කතා කළේය.

1935 දී උන්වහන්සේ මහාචාර්ය ජී. පී. මලලසේකර මහතාගේ ඉල්ලීම පරිදි ලංකා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වූහ. පාණදුරේ විල්මට් පෙරේරා මහතා තමාට අයත් හොරණ කපුකුළවත්තේ ශ්‍රීපාලි නමින් විද්‍යාලයක් ඇරැඹුවේය. ශුභ මොහොතින් අකුරු කියැවීම සඳහා එතැනට වැඩම කළේ පොල්වත්තේ බුද්ධදත්ත හිමි සහ හීනටියන ධම්මාලෝක හිමිය.

1936 ජනවාරි 07 වැනිදා අප හිමිපාණන්ගේ ආචාර්ය පාදයන් වහන්සේ සිය අරමේදී අපවත් වී වදාළහ. මහා කවි තාගෝර් තුමා ද විදුලි පණිවුඩයක් මඟින් සිය ශෝකය බුද්ධදත්ත හිමියන්ට දැන්වීය.

1947 දී ඇතැම් ඇමැතිවරු තමන්ට එරෙහිව කතා කරන භික්ෂුන්ගේ සිවුරු ගලවන බව කීහ. ඔවුන්ට පිළිතුරු දීම සඳහා කොළඹ නගර ශාලාවේ ගිහි පැවිදි මහා සභාවක් පැවැත්විණ. ඒ සභාවේ මුලසුන හෙබවූවෝ අප බුද්ධදත්ත හිමියෝ ය.

“භික්ෂුන්ගේ කටවල් වසන්නට තමයි සුදු පාලකයන්ටත් වුවමනා වුණේ. සුද්දන් අනුව යන මේ ඇමැතිවරු අපේ කටවල් වහන්නට එනව. ඒක ඒ ඇත්තන්ට පාරාවළල්ලක් වේවි...” උන්වහන්සේ කීහ.

සංඝයා වහන්සේ හෙළා දකින සර් ජෝන් කොතලාවල වැනි එබඳු දේශපාලනඥයන් නිසා ශාසනයට වන හානිය පිළිබඳව කරුණු කීමට අප හිමියෝ අගමැති ඩී. එස්. සේනානායක මහතා ද හමු වූහ.

1953 දී හයවන ධර්ම සංගායනාව බුරුමයේ දී පැවැත්විණ. ධර්ම සංගායනාවේ ප්‍රධාන කර්තෘ මණ්ඩලයට අප හිමියෝ ද අයත් වූහ. ඒ සඳහා ලංකාවෙන් බුරුමයට විනය පිටකය වැඩම කරනු ලැබූයේ අප හිමියන් විසිනි. ධර්ම සංගායනාවේ අතිවිශාල කාර්ය භාරයක් උන් වහන්සේට පැවැරිණ.

1954 ජනවාරි 04 වැනිදා - බුරුමයේ නිදහස් උලෙළ දා ඒ රට ප්‍රධාන පුවත්පත්වල විශේෂ පුවතක් පළ විය.

ඒ පොල්වත්තේ බුද්ධදත්ත හිමිපාණන්ට අග්ග මහා පණ්ඩිත උපාධිය පිරිනමන බවය. ඒ සම්මාන උපාධිය ලැබු ප්‍රථම ලාංකික භික්ෂුන් වහන්සේ බුද්ධදත්ත හිමියෝ ය.

1954 අප්‍රේල් 10 වැනි දා ලක්බිමට ගොඩබසින දෙවන එලිසබෙත් මහ රැජින පිළිගැනීමට කොළඹ ජැටියට පැමිණෙන මෙන් අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ට ආරාධනයක් ලැබිණ.

“අපේ රට විනාශ කළ, කොල්ල කෑ, සුද්දන්ගේ වර්තමාන නායිකාව පිළිගැනීමට මා යන්නේ කුමට දෑයි අසමින් අප හිමියෝ ඒ ආරාධනා පත්‍රය කසල ගොඩට දැමූහ.(එම රැජිනවම හමුවූ වත්මන් නිවට පාලකයන් ගේ කෙරුම් කෙසේදැයි මෙතැනින් ගොස් විමසත්වා.)

රට පාලනය කළ කළු සුද්දෝ අප හිමි සමඟ නොරොක් වූහ.

“ඉතින් මට මොකද? මම ජීවත්වන්නේ දුප්පත් දායකයන්ගෙන් මිස ඔය සුද්දාට ගැති ලොක්කන්ගෙන් නොවෙයි.”

උන්වහන්සේ ඉඩක් ලැබෙන හැම විටම පිණ්ඩපාතේ වැඩීමට පුරුදු ව සිටියහ.
* * *
1957 දී අප හිමියෝ ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ මහානායක ධුරයට පත්වූහ. ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ සම්මාන පණ්ඩිත උපාධියෙන් ද ලංකාදීප පත්‍රයේ සාහිත්‍ය කීර්ති ගෞරව සම්මානයෙන් ද විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය සූරී උපාධියෙන් ද විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ සාහිත්‍ය චක්‍රවර්ති උපාධියෙන් ද අප හිමියෝ පිදුම් ලැබූහ.

අග්ගාරාමයේ දේවාලයක් තැනවීමට පොල්වත්තේ කපුවකුට අවශ්‍ය විය. ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට නීතිඥයෙක් ද ඉදිරිපත් විය.

කපුවා අප හිමි හමුවී මෙතන දේවාලයක් හදන්න සියල්ල සූදානම් බව කීය.

“මොකක්ද?” හිමියෝ උස් හඬින් ඇසූහ.

“මේ පන්සලේ අඩුවක් තමයි දේවාලයක් නැති එක. ඒක හදන්න සියලු කටයුතු සූදානම්. මුදලුත් ලැබෙනවා.”

අප හිමියෝ වහා අසුනෙන් නැගිට, කොස්ස ද අතට ගෙන,

“බැහැපන් එළියට. මෙහෙ තියෙන්නෙ බුද්ධාගම. මෙතන දේව ආගමක් නැහැ. උඹට ඕන නම් ගෙදර දේවාල හදාගනින්. ආයෙත් ඔය දෙයියො එක්ක පන්සල පළාතෙ එන්න එපා.” කීහ.

කපුවා පලා ගියේය.

මහලු වියට පත් වුවද උන්වහන්සේ සිය කටයුතු ගෝලයකුට සේවකයකුට පැවරූයේ නැත. උන්වහන්සේගේ පඩික්කම සෝදන්නට අන් අයකුට ඉඩ දුන්නේ නැත. සිය සිවුරු, පාත්‍රා, සෝදා ගත්තේ ද තමාමය.

ධර්ම දේශනාවකට ආරාධනාවක් නොලද හැම දවසකම උන්වහන්සේ හැන්දෑවේ හයට සැතපෙති. රාත්‍රී දොළහට පිබිදෙති. ඉන්පසු ලිවීම අරඹති. හිඳගෙන ලිවීම අපහසු වූ විට හිටගෙන ලියති. ඒ සඳහා වෙනම උස මේසයක් තිබිණ. පාන්දර කළුකපා එළිය වැටුණු පසු දත කට මැද මුහුණ සෝදාගෙන ආවාස මළුව ඇමදීමේ යෙදෙන අප හිමියෝ හීල් දානයෙන් පසු දවසේ පත්තර කියවා යළි ලිවීම අරඹති. ලියන දෙයක ගැටලුවක් මතු වූ විට සක්මන් කරති. සක්මනේ දී ගැටලු ලිහේ. අලුත් සිතිවිලි උපදී. යළි ලිවීම අරඹති.

දහම් ගැටලු ගමේ ගැටලු, රටේ ගැටලු ගෙන දායකයෝ. පාඨකයෝ හිමි හමුවෙති. ගැටලු ලිහේ. අම්බලම්ගොඩ, හික්කඩුවේ හෝටල්වල රැය ගෙවා උදේ ම ඇතැම් සංචාරකයෙක් හිමි සොයා එයි. ඔහුට ද දහම් ගැටලුවෙකි. හිමියෝ ගැටලුව ලිහති. අබෞද්ධ සංචාරකයෝ බෞද්ධ වෙති. බෞද්ධ සංචාරකයෝ භාවනාවට සුදුසු තැන් විමසති. හිමියෝ අසවල් තැනට යන්නැයි නියම කරති. කමටහන් ගහ යුතු අය ද නම් කරති. දහවල දානයට වඩින තුරු අමුත්තන්ට සේවය කරන උන්වහන්සේ දානයෙන් පසු මිනිත්තු දහයක් සැතැපී යළි ලිවීමේ, කියවීමේ යෙදෙති.

සවස හයට පෙර විහාරයට පිවිස බුදුන් වැද, මල් පහන් පුදා භාවනාවේ යෙදෙති. මෛත්‍රී භාවනාවෙන් ම සැතැපෙති. රෑ මැදියමේ මෛත්‍රියෙන් ම පිබිදෙති.

උන්වහන්සේගේ දවස ගෙවුණේ එහෙමය.

මැලේරියාවට, නිව්මෝනියාවට, උණ සන්නිපාතයට, බිලි වුණු ඒ සිරුර තවත් අසනීප රැසකින් පීඩා වින්ද ද ඒ සියල්ල උන්වහන්සේ ජය ගත්හ. ධර්ම ප්‍රචාරයට ම ජීවිතය කැප කළහ.

එහෙත් 1962 නොවැම්බර් මුල් සතියේ උන්වහන්සේ යළි සුවපත් නොවන රෝගයකට ගොදුරු වූහ. කොළඹ මහ රෝහලේ වාට්ටුවකට උන්වහන්සේ වඩමවනු ලැබිණ.

තරුණ වෛද්‍යවරු උන්වහන්සේ වට කැරැ ගත්හ. ඔවුහු ද උන්වහන්සේගේ ධර්ම පාඨකයෝ ය.

“මා දන්නවා මේ රූපස්කන්ධයේ අවසානය ළංවී ඇති බව. එය නියතයි. සියලු සංස්කාර අනිත්‍යයි. කොතැනටත්, මෙතැනටත් වලංගු වන්නේ බුද්ධ දේශනාවයි. මගේ දරුවනේ ඔබගේ වෑයමෙන් පලක් නොවන බව මා දන්නවා...”

උන්වහන්සේ මහත් අපහසුවෙන්, කායික පීඩාවෙන් යුතුව එහෙත් හොඳ සිහියෙන්, ඒ වෛද්‍යවරුන්ට අනිත්‍යය ද, අනාත්මය ද පිළිබඳව දහම් දෙසූහ.

කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නා හිමියෝ, කොටහේනේ පඤ්ඤාකිත්ති නා හිමියෝ, කොස්ගොඩ ධම්මවංශ නා හිමියෝ, බඹරැන්දේ සිරි සීවලි නා හිමියෝ උන්වහන්සේගේ ඇඳ වටා සිට ගත්හ. පිරිත් කියන්නට පටන් ගත්හ. ඒ පිරිත් අසමින් දෑස පියාගත් අප හිමියෝ මහත් සන්සුන් බවක්, නිවුණු බවක්, මුහුණේ සලකුණු කොට තබමින් අවසන් හුස්ම හෙළූහ.

1962 නොවැම්බර් 09 වැනිදා සිදු වූ ඒ මහා සමු ගැනීමත් සමඟ ලොවම කම්පා විය.

සීලයෙන් ද, ගුණයෙන් ද, නුවණින් ද පිරිපුන් මහා ධර්මධරයකු, මහා ලේඛකයකු, මහා දේශකයකු, මහා පරිවර්තකයකු, අභීත, නොනිවට, උත්තම ගණයේ මහා සංඝ පීතෲතවරයකු ලොවට අහිමි වූ හෙයිනි ඒ කම්පාව.

ඒ හිමි රුව අළු බවට පත් වූ පසු මුල්ලපිටියේ කේ. එච්. ද සිල්වා මහ කිවියාණෝ මෙසේ කීහ.

“සබ වස් සුරැකි පිදි නිසි තැන් පිදිය යුතු

අබැටක තරම නිල බලයට නොවුණු නතු

ලැබ ගත් සිරිලකට විරුදාවලි අමුතු

දඹ රන්වලින් හිමි පිළිරුව තැනිය යුතු”


දෙනගම සිරිවර්ධන
(http://www.silumina.lk/2014/02/09/_art.asp?fn=af14020913)
මේ එතුමන් ගැන ලියැවුණු තවත් ලිපි කිහිපයක්

http://www.divaina.com/2012/11/12/pansala01.html

http://www.divaina.com/2012/11/18/nimna05.html

http://mahamegha.lk/all-time-favourites/sasun-ketha-saru-kala/

මේ අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත හිමියන් රචනා කළ කෘතීන් කිහිපයකි.(බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය,රත්න ප්‍රකාශකයෝ,ගොඩගේ ප්‍රකාශකයෝ හා M.D ගුණසේන යන ආයතන මගින් මේ කෘතීන් මුද්‍රණය කර ඇත.)