Sunday, October 12, 2014

අපේ යතිවරු - පරවාහැර සිරි රේවත හිමි

උපුටා ගැනීම සිළුමිණ

මේ තම ගුරුදේවයන් වූ පරවාහැර සිරි රේවත හිමියන් ගැන කිරම විමලජෝති හිමියන්ගේ මතකයයි.

“නොසැලෙන ධෛර්යය, වීර්යය සහ අධිෂ්ඨානය පිළිබඳව මා දුටු හොඳම උදාහරණය වූ මගේ ගුරුදේව කෝට්ටේ ශ්‍රී සමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අති පූජ්‍ය පරවාහැර සිරි රේවත හිමිපාණන් පිළිබඳ මේ ගෞරවනීය මතක මා සිත්හි නැ‍ඟෙ‍නුයේ උන්වහන්සේ පිළිබඳ අපරිමිත ශ්‍රද්ධාවෙන් යුක්තවයි.”


- දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරම විමලජෝති හිමි


1910 එක් දිනෙක අලුයම මාතර මහා මන්තින්ද පිරිවෙනේ සියලු භික්ෂුන් වහන්සේලා එක් පොල් ගසක් යටට රැස් ව ගස මුදුනේ පෙනෙන කහ සිවුරක් දෙස බලා සිටියහ.


“රේවත හාමුදුරුවනේ බිමට බහින්න”

පොඩි හාමුදුරුවරු කෑ ගැසූහ.

ගස මුදුනෙන් හඬක් නො නැඟිණ. කහ සිවුර සුළඟට හසුව සෙලවෙනු පමණක් පෙනිණ.

මහා මන්තින්ද පිරිවෙන්පති වාදීභසිංහ අතිපූජ්‍ය බැදිගම ධර්මකීර්ති ශ්‍රී රතනපාලාභිධාන දක්ෂිණ ලංකාවෙහි ප්‍රධාන සංඝනායක මාහිමියෝ ද එතැනට වැඩියහ.

උන් වහන්සේ ගස මුදුනේ ලෙළදෙන කහ සිවුර දෙස මොහොතක් බලා සිටියහ.

“රේවත, බයවෙන්න එපා... මම දඬුවම් දෙන්නේ නැහැ... බිමට බහින්න”

සිංහ හඬක් මුදු මෙළෙක් ව නැ‍ඟෙනු ඇසිණ. ඒ හඬ පොල් ගසේ කරටියට ද ඇසිණ.

ගස මුදුනේ සිවුර එහා මෙහා විය. එයින් අතක්, හිසක් මතු විය. පොල් කඳ දිගේ හෙමින් හෙමින් පහළට ලිස්සා එන කහ රුව පහළ ඇස්වල බැඳිණ.

ඒ ගසෙන් බැස්සේ පසු කලෙක කෝට්ටේ ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පදවියෙන් පිදුණු මහා විශ්වකර්මයකු ලෙස ලෝ පතළ වූ පරවාහැර රේවත හිමියෝ ය.

උන්වහන්සේ සිය ගුරු දේව බැදියම නාහිමියන්ගේ පාමුල වැඳ වැටුණහ.

“එන්න මාත්තෙක්ක”

නා හිමියෝ රේවත හිමි සමඟ සිය කුටියට වැඩියහ.

අසුනෙක හිඳගත් උන්වහන්සේ රේවත හිමියන් ගේ දෑසට සිය දෑස යොමු කළහ. ඒ දෑස දෙස කෙළින් ම බලා සිටීමට රේවත හිමියන්ට අපහසු විය. ඒ වෙනුවට රේවත හිමියන්ගේ දෑස යොමුව පැවතුණේ බිත්තියේ රැඳි අනගාරික ධර්මපාල තුමාගේ විශාල ඡායාරූපයට ය.

ධර්මපාල තුමාගේ ගෞරවයට පාත්‍ර වූයේ ලංකාවේ භික්ෂුන් කීප නමක් පමණි. බැදිගම හිමි එයින් එක් නමකි.

ධර්මපාල තුමා නා හිමි හමුවීමට දින කීපයක් මන්තින්ද පිරිවෙනට පැමිණියේය. ඒ තේජාන්විත මහා පුරුෂයාට ළං නොවී ඈතට වී බලා සිටි ඒ අවස්ථා කීපය රේවත හිමිට සිහි විය.

“ලංකාවේ භික්ෂුන් සිංහල මිනිසුන්ට බණ කියන්නෙ සංස්කෘත වචන ගොඩක් එක්ක. ඔබ වහන්සේ බණ දෙසන්නේ ගමට හුරු පුරුදු සරල සිංහල භාෂාවෙන්. කලකට පසු මා අද ඔබ වහන්සේගෙන් හොඳ බණක් ඇසුවා. ඔය විධියට බණ දෙසුවොත් මේ රට ඉක්මනින්ම ධර්මද්වීපයක් වේවි.”

ධර්මපාල තුමා දිනක් නා හිමියන්ට කීවේ ය.

ඒ මහා පුරුෂයාගෙන් ද පැසසුම් ලැබු අපේ ලොකු හාමුදුරුවෝ...

රේවත හිමියන්ගේ ඇස කඳුළෙන් පිරිණ.

“රේවත, පොඩිනම හැම මිනිහෙක්ම තමා වගේ ය කියල හිතන්න එපා. වෙලාවට, හරියට වැඩ කරන මිනිස්සු අඩුයි, ඒ අයගෙ අඩුපාඩු දැකල කුපිත වෙලා උන්ට ගහන්න ගියාම වැඩ අවුල් වෙනවා, රේවත මේ පිරිවෙනේ කීප දෙනෙක් සමඟම රණ්ඩුවෙලා තියෙනවා, ඒ රණ්ඩුවලට හේතුව ක්ෂණික කෝපය, මේ ස්ථානය රේවතට ගැළපෙන්නෙ නැහැ, ඔය උන්නාන්සෙට හොඳ දක්ෂකම් තියෙනවා. ඒවායින් ප්‍රයෝජන ගන්න ඕන, රටටත් වැඩක් කරන්න ඕනැ. මට මාකාවිට ගමෙන් ඉඩමක් ලැබිල තියෙනව. ඒ ඉඩමේ නම වෙහෙරහේන. එතන පොල්අතු ගෙයක්, පුරාණ බෝධියක් තියෙනවා, ඉඩම වල් බිහිවෙලා. එතන නැවතිලා දියුණු කරගෙන ඉන්න ඔය උන්නාන්සෙට පුළුවනි, අද ම එතනට යන්න...”

රේවත හිමියෝ නාහිමියන්ගේ පා මුල වැඳ වැටුණහ.

“මම දැන්ම ම යනව, මගෙන් සිදු වූ වැරදිවලට සමාව ඉල්ලනවා...”

කොට්ටයක් සහ පැදුරක් ගෙන රේවත හිමියෝ මන්තින්ද පිරිවෙනෙන් පිටතට වැඩියහ.

* * *

1888 දී මාතර පරවාහැර උපත ලැබු රේවත හිමි පැවිදි බිමට පත්වූයේ 1900 දී ය. ඒ මාතර මහා මන්තින්ද පිරිවෙනේ දී බැදිගම රතනපාල නා හිමියන්ගේ ශිෂ්‍යයකු වශයෙනි.

සිය ආචාර්යපාදයන් වහන්සේගේ නොසි‍ඳෙන වීර්යය, ධෛර්යය හා නිර්භීත බවත්, ධර්ම ඥානයත්, ධර්ම දේශනයේ චතුර බවත්, රේවත හිමියෝ මැනවින් දුටහ. ආගම ධර්මය පිළිබඳව පැවැති ප්‍රකට වාදවලදී ලැබු ජයග්‍රහණ නිසා උන්වහන්සේට වාදීභසිංහ යන ගෞරව නාමය ද ලැබිණ.

එංගලන්තයේ යටත් විජිතයක් වශයෙන් පැවැති ලංකාවේ සිංහල බෞද්ධයන් වෙනස්කම්වලට, වධ හිංසාවලට ගොදුරු වූ යුගයක ඔවුන් ඒ තත්ත්වයෙන් මුදා ගැනීමට බැදිගම රතනපාල නාහිමියන් දකුණු පළාතේ ගෙන ගිය අහිංසා අරගලය ද රේවත හිමියන්ගේ තුරුණු සිතට මැනවින් වැටහී තිබිණ. කොට්ටයත්, පැදුරත් ගෙන උන්වහන්සේ මන්තින්දයෙන් එළියට බැස්සේ නාහිමියන් පිළිබඳ කිසිදු අමනාපයක් ඇතිව නොවේය.

“ඔය කියන පාළු කැළෑ ඉඩමේ මම හොඳ ආරාමයක් ගොඩ නඟනවා...”

ඒ ඉඩම දකින්නටත් පෙර රේවත හිමි සිත දැඩි කරගත්තේය.

“කොහේද වඩින්නෙ?”

මගදී කෙනෙක් ඇසූහ.

“වෙහෙරහේනට”

“වෙහෙරහේනට”

“වෙහෙරහේනට යන්න හිතන්නටත් එපා, මාකාවිට ගමේ බේබද්දො ඉන්නේ එතැන, පොඩ්ඩ ඇත්නම් උන් පිහිය ඇදැ ගන්නවා. එතන ප්‍රසිද්ධ රා පොළක් තිබෙනවා. උන්ට ආගමත් ධර්මයක් නැහැ, ඔබ වහන්සේට එතන ඉන්න උන් ඉඩ දෙන්නෙ නැහැ.”

ඒ අමිහිරි, අසුබ ආරංචිවලින් උන්වහන්සේ පසුබැස්සේ නැත.

ඈතට රා ගඳ දැනිණ.

මිනිස් කසුකුසු ද ඇසිණ.

හිමියෝ ඒ කුඩා නිවසට ඇතුළු වූහ. පාළු, දූවිලි ගඳ විඳ ගනිමින්, කිවිසිලි අරිමින් උන්වහන්සේ නිවස පිරිසිදු කළහ. මැටි ගෙබිම, වැලි බදාම බිත්ති, පොල්අතු වහල සහිත කාමර දෙකක ඒ නිවසේ කුඩා මැස්සක් විය. ඒ මැස්ස මත පාත්‍රය තබා, පැදුර බිම එළා ඒ මත හිඳගත් උන්වහන්සේ දෑස පියාගෙන බුදු ගුණ සිහිකොට මෙසේ අධිෂ්ඨාන කළහ.

“මගේ ලොකු හාමුදුරුවන්ට, පිරිවෙනේ හාමුදුරුවන්ට සහ දායකයන්ට සතුටක්, විශ්මයක් ඇතිවන අයුරින් මම මේ ස්ථානය උතුම් ආරාමයක් බවට පත් කරමි. ජීවිතයට කවර තර්ජන පැමිණියත් මම පලා නොයමි.”

එදා ම උන්වහන්සේ මාකාවිට ගමේ පිඬු සිඟා වැඩියහ. එය ග‍ම් වැසියනට අපූරු දර්ශනයක් විය. පාත්‍රය ආහාරවලින් පිරිණ. හැන්දෑවේ ගමේ කීපදෙනෙක් කෝපි කුඩු සහ හකුරු ද, ළිප දැල්වීමට දර ද, ගෙන ආහ. ළිපයක් තනා දුන්හ. වතුර උණු කිරීමට මුට්ටියක් ද, තරමක් දුරින් පිහිටි ළිඳකින් වතුර කළයක් ද ගෙනැවිත් දුන්හ.

ගමේ පවුල් කීපයක් මුල් දවසේ ම මෙසේ සත්කාර කිරීම උන්වහන්සේගේ අලුත් ජීවිතයට ධෛර්යයක් විය.

උන්වහන්සේ දිනපතාම පිණ්ඩපාතේ වැඩියහ.

මග දී රා පෙරන්නෝ, බේබද්දෝ උන්වහන්සේට අපහාස කළහ. පන්සල ගිනි තබන බවට තර්ජනය කළහ. මහත් ඉවසිල්ලෙන් ඔවුන්ට මුහුණ දුන් හිමියෝ පසුව ඒ අය තනි තනිව හමු වූහ. බණ කීහ. කීප දෙනෙක් පන්සිල් සමාදන් වූහ. එහෙත් රා ගුඩ්ඩන්ගෙන් වැඩි දෙනෙක් එය අත් හැරීමට මැලි වූහ. කැළෑව එළිවීමත් සමඟ ඔවුන්ට අන් ප්‍රදේශයකට යාමට සිදුවිය.

පැරණි බෝධිය ද කල එළියට පැමිණියේය. පොල්අතු ගෙය වෙනුවට ස්ථිර ගොඩනැඟිල්ලක්, බුදු ගෙයක් ඉදිවිය. විශාල පිරිසකට වන්දනා කිරීමට ස්ථානයක් වෙහෙරහේනේ බිහි විය.

ඒ 1915 වර්ෂයය. මුස්ලිම්, සිංහල කෝලාහාලයක් පිළිබඳව අසන්නට ලැබිණ. යුද්ධ නීතිය පනවා රටේ ජන නායකයන් සිරගත කළ පුවත්, ඇතැම් නායකයන් ඝාතනය කළ පුවත් පැතිරිණ. මාතර ප්‍රදේශයට ද මේ කෝලාහාලය ළංවන ලකුණු පෙනිණ. මාතර මුස්ලිම් ජනතාවට සිංහල ගම්මානවලින් පහර වැදෙනු ඇතියි නිලධාරීහු සැක කළහ. මාතර දිසාපතිවරයා බැදිගම නායක හාමුදුරුවන් හමුවී මේ තත්ත්වයෙන් මාතර බේරා දෙන මෙන් ඉල්ලා සිටියේය.

බැදිගම හිමියෝ ජනතාව රැස් කොට ධර්ම දේශනා පැවැත්වූහ.

“කිසිම මුස්ලිම් කෙනකුට හිරිහැර කරන්න එපා. ඒක බුද්ධධර්මයට පිටුපෑමක්...” උන්වහන්සේ කීහ.

මේ නිසා මර බියේ සිටි මුස්ලිම් ජනතාවට අභය ලැබිණ.

වෙහෙරහේන පන්සල ද මුස්ලිම් මිනිසුන්ගේ අභය භූමියක් විය. එහි සැඟවී සිටි මිනිසුන්ට රේවත හිමියෝ, බැදිගම හිමියන්ගේ ක්‍රියා කලාපය විස්තර කළේ “බුදු රජාණන් වහන්සේ සිටියානම් කරන්නේත් ඔය වැඩේමයි” කියමිනි.

“ශාක්‍ය - කෝලිය යුද්ධය නතර කිරීමට බුදු රජාණන් වහන්සේ යුද්ධ භූමියට වැඩියා. ධර්මය දේශනා කළා, යුද්ධය නතර වුණා. ජීවිත දහස් ගණනක් බේරුණා...” රේවත හිමියෝ කීහ.
ඒ දින කීපයේම මුස්ලිම් මිනිසුන් යැපුණේ රේවත හිමි සැපයූ පිණ්ඩපාත දානයෙනි.

1915 මුස්ලිම් සිංහල කෝලාහලය පැතිරෙන්නට ඉඩ දුන් ඉංගිරිසි ආණ්ඩුව ඒ මුවාවෙන් සිංහල ජන නායකයන් දඩයම් කළහ. යාපනේ සිර ගෙදර දී අනගාරික ධර්මපාල තුමාගේ සහෝදර එඩ්මන් හේවාවිතාරණ මහතාත්, ඇල්බට් විජයසේකර මහතාත් මරණයට පත් වූහ. හෙන්රි පේදිරිස් නමැති අභීත සිංහල තරුණයාත්, පොලිස් පරීක්ෂක සමරසිංහ මහතාත් යුද්ධාධිකරණ තීන්දුවක් මඟින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී වෙඩි තබා මරණ ලදහ. පාරේ දී මරා දැමුණු සිංහලයන් ගණන් නැත.

මේ සිදුවීම්වලට ධර්මපාල තුමාගේ දේශන සහ ලේඛන ද හේතුවී යයි කී ඉංග්‍රිසි ආණ්ඩුව ඉන්දියාවේ සිටි ධර්මපාල තුමා නිවාස අඩස්සියේ තැබූහ.

මේ පුවත් ඇසු රේවත හිමියෝ ධර්මපාල තුමා පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන්නට වූහ. ධර්මපාල තුමාගේ බුද්ධගයාව බේරා ගැනීමේ සටනට එක්වූ උන්වහන්සේ සිය සවි පමණින් මුදල් සම්මාදන්කොට ඉන්දියාවට යැවූහ.

* * *

1917 දෙසැම්බර් 11 වැනි දා මාතර මහා මන්තින්ද පිරිවෙන්පති වාදීභසිංහ බැදිගම ධර්මකීර්ති ශ්‍රී රතනපාලාභිධාන දක්ෂිණ ලංකා ප්‍රධාන සංඝනායක මාහිමිපාණෝ අපවත් වී වදාළහ. බුදු සසුනට එරෙහිව නැගුණු තර්ජන, දුර්මත දුරු කොට බුදු සසුන රැක ගැනීමට කැප වූ මහා පුරුෂයකු, උතුම් සංඝ පීතෘනවරයකු සසුනට, රටට, අහිමි විය. රේවත හිමියෝ මේ පුවත ඇසු සැණින් මහා මන්තින්දයට වැඩියහ. ආදාහන කටයුතු සංවිධානයට එක්වූහ. දකුණු ලක කිසි කලෙක නුදුටු මහා ජන ගංගාවක් එදා මාතරට ගැලුවේය.

1915 දී මුස්ලිම් ජනතාව රැක ගැනීමට මුල් වූ නාහිමියන්ට කෘතගුණ සලකන්න මුස්ලිම්වරු දහස් ගණනක් ආදාහන උලෙළට එක් වූහ. ඔවුන්ගේ නිවෙස්වල ද සුදු කොඩි නංවා තිබිණ.

* * *

බුද්ධගයාව රැක ගැනීමේ අරමුදලට විටින් විට මුදල් සම්මාදම් කොට දුන් රේවත හිමියන්ට අනගාරික ධර්මපාල තුමා දැක ගැනීමේ වුවමනාවක් ඇතිවිය.

උන්වහන්සේ තනිවම ඉන්දියාවට වැඩියහ.

දඹදිව පූජනීය ස්ථාන වැඳ පුදා ගත් උන්වහන්සේ ඉසිපතනයට ගොස් ධර්මපාල තුමා හමු වූහ.

“බැදිගම රතනපාල හිමියන්ගේ ශිෂ්‍යයෙක් දැකීමත් සතුටක්. උන්වහන්සේගේ නිවැරදි ධර්ම ඥානය මා අගය කරනවා. ධර්මය පිළිබඳ දුර්මත දුරුකොට උන්වහන්සේ වාදවල යෙදුණු හැටි මා දන්නවා.”

හාමුදුරුවනේ, අපේ මිනිසුන්ගේ ශ්‍රද්ධාව වර්ධනය වන ආකාරයට යමක් කරන්න. ශ්‍රද්ධාව නැති තැන බුද්ධාගමත් නැහැ... ලංකාවට වැඩම කළ පසු ඒ ගැන සිතන්න. වැඩ පටන් ගන්න.”

ධර්මපාල තුමාගේ අවවාදය ගරුසරු සහිතව පිළිගත් අප හිමියෝ ඉසිපතනයේ ටික කලක් රැඳී සිට බුරුමයට වැඩියහ.

බුරුම ජනතාවට ලංකාවේ භික්ෂුවක දැකීම මහ ම සතුටකි. ඔවුහු බිම දිගා වී රේවත හිමියන්ට වැන්දහ.

බුරුමයේ සිද්ධස්ථාන, චෛත්‍ය, ප්‍රතිමා, විහාර වන්දනාවේ යෙදුණු අප හිමියන්ගේ සිතේ එක් සිතිවිල්ලක් පහළ විය.

“බුරුම ජනතාව ශ්‍රද්ධාවෙන් ඉපිළෙනවා, මේ මහා දැවැන්ත උස ප්‍රතිමා ඊට එක් හේතුවක් විය හැකියි, බුද්ධ ප්‍රතිමා වහන්සේලා අසල දී බුරුම ජනතාව ශාන්ත නිවී ගිය ඇත්තන් බවට පත්වෙනවා. මමත් කවදාහරි වෙහෙරහේනේ මෙබඳු විශාල ප්‍රතිමා වහන්සේ නමක් ඉදිකරනවා. ධර්මපාල තුමා කීවේ මුලින්ම මිනිසුන්ගේ සිත් ශ්‍රද්ධාවෙන් පුරවන්න ය කියා. මා ලංකාවට ගිය පසු ඒ උතුම් කටයුත්ත පටන් ගන්නවා.”

ඉන්පසු උන්වහන්සේ තායිලන්තයේ ද සංචාරය කොට ලංකාවට වැඩම කළහ.

වෙහෙරහේනේ මහා බුදු පිළිමයක් ඉදිකිරීමේ අධිෂ්ඨානයෙන් රේවත හිමියන්ගේ සිත පිරී ගියේය.

අව්කන මහ බුදු පිළිමය උන්වහන්සේට සිහි විය. අනුරපුර රජ සමයෙන් පසු එබඳු මහ පිළිම ඉදිවී නැත. ඒ පිළිමය අදත් බෞද්ධයා තුළ ශ්‍රද්ධාව උපදවයි. මාත් කී වාරයක් ඒ බුදු පිළිම වහන්සේ ළඟ වැඳ වැටෙන්නට ඇද්ද? මමත් වෙහෙරහේනේ උස බිමේ අසු අට රියන් උස බුදු පිළිමයක් ඉදිකරමි...

මේ පිළිබදව උන්වහන්සේ හිතවත් භික්ෂුන් සමඟ කතා කළහ.

“ඔබ වහන්සේ සිටින තත්ත්වයේ හැටියට ඒ වගේ විශාල වැඩක් කරන්නේ කොහොම ද?”

භික්ෂුන්ගේ බස නිබොරුය. මා ජීවත්වන්නේ පිඬු සිඟා ලබන ආහාරයෙන්, එය භික්ෂු උරුමය. මා සතුව ඇත්තේ සිවුරු කීපයක් සහ පාත්‍රය පමණය. මහා පිළිමයක් ඉදිකිරීමට තරම් වත්කමක් මට නැති බව ඇත්ත, එය සිහිනයක්, නැහැ. මම එය සැබෑ වන සිහිනයක් බවට පත් කරනවා.”

උන්වහන්සේ සැලැස්මක් ඇන්දේය.

රියන් අසූ අටක බුදු පිළිමයක්!

හිමියෝ සතියක්ම පාත්‍රය ගෙන ගම්වල සංචාරය කළහ. අසූ අට රියන් බුදු පිළිමය ඉදිකිරීම පිළිබඳව ගම් වැසියනට කීහ.

සත භාගය, සතය බැගින් මිනිස්සු පාත්‍රයට දැමූහ. රුපියල් දහයක පමණ කාසි එක් වූ විට උන්වහන්සේ පන්සලට වැඩම කළහ.

පිළිමය ඉදිකරන බිමේ අත්තිවාරම් කැපීමට හිමියෝ ගමේ තරුණයන් කැඳවා ගත්හ. ගල් කැඩීමට, වැලි ගොඩ ගැසීමට උන්වහන්සේ ද එක්වූහ. රුපියල් දහයෙන් සිමෙන්ති මිලට ගත්හ.

වැඩ ඇරැඹිණ. අත්තිවාරම බැ‍ඳෙන්නට විය. රුපියල් දහයේ සිමෙන්ති අවසන් වීමට පෙර යළි පාත්‍රය ගෙන රේවත හිමියෝ සම්මාදමේ වැඩියහ.

උන්වහන්සේ වෙහෙසෙන අයුරු දුටු කීප දෙනෙක් කවි ලියා, පත්‍රිකා මුද්‍රණය කොට ගම්වල බෙදූහ.


වෙහෙරහේනෙ දැන් දැන්

බඳින පිළිමෙ රන් රන්

කොතැනකවත් නැති විලසින්

අසූ අටක් රියනින්,

රේවත නම් සමිඳුන්

දඹදිව ගොස් ඇවිදින්

අසූ අටක් රියනින්

පිළිමෙ බඳී රන් රන්

බොහෝ දුර බැහැර ගම්වල ද උන්වහන්සේ පාත්‍රය ගෙන සම්මාදමේ ගියහ. කවි කොළ කියවූ මිනිස්සු සත භාගේ, සතේ කාසිවලින් පාත්‍රය පිරවූහ.

මේ කාලයේ බුරුමයේ රජ පවුලක කුමාරයෙක් ලංකාවට පැමිණියේය. අප හිමියෝ ඒ කුමාරයා හමු වූහ. අසූ අට රියන් පිළිමයට මුල්ගල තැබීමට එන්නැයි ආරාධනා කළහ.

කුමරු පැමිණියේය. මුල් ගල තබා රුපියල් දහසක් (1000/=) පරිත්‍යාග කෙළේය. ඉන් පසු මාතර ප්‍රදේශයේ ප්‍රභුවරු ද රුපියල් පහ, දහය පරිත්‍යාග කරන්නට වූහ.

ලංකාවේ විශාලම බුදු පිළිමය, වෙහෙරහේනේ ඉදිවන පුවත පුවත්පත්වල ද පළ විය. මේ නිසා මේ පුණ්‍ය භූමිය නැරැඹීමට ලංකාවේ සිව් දෙසින් ම වන්දනාකාරයෝ පැමිණෙන්නට වූහ. ඔවුහු ද මේ සත්කාර්යයට සම්මාදන් වූහ.

ප්‍රතිමාව ඉදිවෙමින් පවතින අතර රේවත හිමියෝ තවත් විශ්වකර්ම වැඩකට අත ගැසූහ.

ඒ ප්‍රතිමාවට පහළින් උමඟක් තැනීම සහ එහි බිත්තිවල බුද්ධ චරිතයේ සිදුවීම් සහ ජාතක කතා සිතුවම් කරවීය. ඒ දායකයෝ විශාල පිරිසක් ඒ උමං විහාරය ඉදිකිරීමට සහ බිතු සිතුවම් ඇඳවීමට සම්මාදන් වූහ.

ලංකාවේ ප්‍රධාන පෙළේ චිත්‍ර ශිල්පීහු වෙහෙරහේනට පැමිණියහ. ඇම්. සාර්ලිස් මහා චිත්‍ර ශිල්පියා ද ඒ අතර විය. ඔහු සමඟ අප හිමියෝ ගැටුණාහ. මේ නිසා සාර්ලිස් මහතාට එක චිත්‍රයක් පමණක් ඇඳ ගමට යාමට සිදුවිය. රේවත හිමියන්ගේ සිතේ පවතින දෙයයි චිත්‍රයට නැඟිය යුත්තේ. ඒ සිත දැකීමට අසමත් චිත්‍ර ශිල්පීන්ට ඉවත්ව යාමට සිදුවිය.

2500 බුද්ධ ජයන්තිය වන විට (1956) අසූ අට රියන් බුදු පිළිමයේ ඉදිකිරීම් අවසන් විය.

දකුණු ආසියාවේ විශාලම බුද්ධ ප්‍රතිමාව ලෙස මේ පිළිම වහන්සේ එදා හැඳින්විණ.

දකුණු පළාතේ සියලු වන්දනාකරුවන් මෙන්ම දකුණු පළාතට අනෙක් පළාත්වලින් එන වන්දනාකරුවන්ට ද මාතර වෙහෙරහේනේ පූර්වාරාම රජමහා විහාරය වන්දනා කළ යුතු වැදගත් ම ස්ථානයක් විය.

එහි වැඩ වෙසෙන අසූ අට රියන් බුදු පිළිමයත්, විසිතුරු බිතු සිතුවම්වලින් යුතු උමං විහාරයත්, ජීවිතයේ එක් වරක් හෝ දැකගත යුතුයි, වැඳ ගත යුතුයි යන හැඟීම බෞද්ධයන් තුළ ඇති විය.
මේ උතුම් ශාසන මෙහෙවර ඇගයීමක් වශයෙන් කෝට්ටේ ශ්‍රී සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාව පරවාහැර සිරි රේවත හිමිපාණන්ට දක්ෂිණ ලංකා ප්‍රධාන සංඝනායක පදවිය පුදා ගෞරව දැක්වූයේය.
රේවත හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා වූයේ දවුළුගල සංඝරක්ඛිත හිමියෝය. අනෙක් ශිෂ්‍ය දෙනම නම් කිරම විමලජෝති හිමි සහ මාතර ආනන්ද හිමි ය. අද ජීවමානව වැඩ වෙසෙනුයේ කිරම විමලජෝති හිමි පමණි.

රේවත හිමියන්ගේ සහෝදරයා වන පරවාහැර වජිරඥාන හිමියෝ ලෝ පතළ මහා පඬිවරයෙක් විය. එංගලන්තයෙන් ආචාර්ය උපාධිය ලැබු උන්වහන්සේ යුරෝපයේ බුදුදහම ප්‍රචලිත කිරීමට වෙහෙසුණහ. අනගාරික ධර්මපාල තුමා ළඟින් ඇසුරු කළ වජිරඥාන හිමියෝ ඉන්දියාවේ ද ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදුණහ. එංගලන්තයට බුදුදහම ගෙන යාමට ද මුල් විය.

මරදානේ පඨානඝර ආරාමය ඉදිකිරීම සඳහා වජිරඥාන හිමියන්ට ඒ ඉඩම මිලට ගැනීමට රේවත හිමියෝ සිය දායකයා සමඟ එක්ව 1960 දී රුපියල් දහදාහක් පරිත්‍යාග කළහ. ඉඩම මිලට ගැනීමට රුපියල් හැටදාහක් වැය විය. පසුව ඒ ආරාමයේ ධර්ම දූත ආශ්‍රම විද්‍යාලය ද පිහිටුවනු ලැබූහ. ත්‍රිපිටකය සිංහලට නැඟීමේ මහා ශාසනික මෙහෙවර සිදු වූයේ ද ඒ ආරාමයේදීය.

1965 දී කෝට්ටේ ශ්‍රී සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පදවිය රේවත හිමියනට පිරිනැමිණ. එහි දී උන්වහන්සේ පිළිගැනීම සඳහා වෙහෙරහේනේ මහ උලෙළක් පැවැත්විණ.

කිරම විමලජෝති හිමියෝ ඒ සඳහා විසිතුරු තොරණක් ඉදිකැර වූහ. ඒ තොරණේ වූ කවිය උලෙළේ ප්‍රධාන අමුත්තා වූ අගමැති ඩඩ්ලි සේනානායක මහතා ඇතුළු විශාල පිරිසකගේ ඇගැයීමට ලක්විය.


අප දිය නා දිනු දහම දැනා සතනට
නිවනා ගෙන දෙන ලෙසිනා
කප තිබෙනා තෙක් මෙපවතිනා
බුදු පිළිමෙවනා අසු අට රියනා
බැති සිතිනා සිරි රේවතනා
සමිඳුන් විසිනා කර වූ සොබනා
හරසරිනා පිළිගනිමු මනා
මැති ඇමති ගනා සැවොමන් මෙදිනා

දිනක් කොළඹ කුරුඳුවත්තෙන් ආ උපාසිකාවක් අසූ අට රියන් පිළිමය දැක නා හිමි හමුවී මෙසේ ඇසුවාය.

“මෙපමණ උස බුදුවරු ඉන්නේ කොහේද?”

නා හිමි නිහඬව සිය කුටියට වැඩම කළහ. ආපසු ඇය අසලට වැඩම කළේ අඟලක් පමණ උස තබ බුදු පිළිමයක් දෝතින් ගෙන ය.

“උපාසක අම්මා, මේ පිළිමය දිහා බලන්න. මෙච්චර උස බුදුවරුත් ඉන්නවා ද?”

ඇය ගොළු වූවාය.

“එක් එක් අයගේ ශ්‍රද්ධාව හා හැකියාව අනුවයි ප්‍රතිමා නෙළන්නේ, කට තිබුණට කතා කරලා පව් පුරවා ගන්න එපා...”

ඇය ඒ මහා බුදුපිළිම වහන්සේට වැඳ සමාව ඉල්ලුවාය.

සියලු විහාරාංගවලින් වෙහෙරහේන අංග සම්පූර්ණ කළ ලෝ පතළ මහා පිළිම වහන්සේ නමක් සසුනට උරුම කළ අප නා හිමියෝ එකුන් අසූ වියේ දී රෝගාතුර වූහ.

මාතර මන්තින්ද පිරිවෙනේ අධ්‍යාපනය ලබමින් සිටි කිරම විමලජෝති හිමියෝ සිය ආචාර්යපාදයන් වහන්සේ රැක බලා ගනිමින් මාතර රෝහලේ නතර වී සිටියහ.

“මිනිසුන්ට ශ්‍රද්ධාව ඇතිවන විධියට වැඩ කරන්න” යි ඉසිපතනයේ දී අනගාරික ධර්මපාල තුමන් කළ ඉල්ලීම පිළිබඳව ගිලන් යහනේ දී ද නා හිමියෝ සිහිපත් කළා.

“මා ඔබේ ඉල්ලීම ඉටුකළා...” හිමියෝ ම පිළිතුරු දුන්හ.

1967 අගෝන්තු 28 වැනිදා මෙලොවින් සමුගත් ඒ අවසන් මොහොතේ ද උන්වහන්සේ ගේ සිතෙහි බැබළෙන අසූ අට රියන් බුදු පිළිමය වැඩ සිටින්නට ඇත.

දෙනගම සිරිවර්ධන

The Budh-Gaya Temple Case



අනගාරික ධර්මපාල තුමන් බුද්ධගයාව බේරා ගැනීමට ගෙනගිය සටනේ අධිකරණ සටහන් මෙලෙසින් අන්තර්ජාලයේ සටහන් වෙයි.

ස්තුතිය archive.org වෙත

Budhgaya Temple Case by sinhalaebooks

The Sacred City of Anuradhapura


අනුරාධපුර ශුද්ධ නගරය කෙරෙහි කැපවූ බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර යන් විසින් රචිත The Sacred City of Anuradhapura නම් කෘතියයි මේ.

ස්තුතිය archive.org වෙත.

The Sacred City of Anuradhapura by sinhalaebooks

අපේ යතිවරු - යක්කඩුවේ ශ්‍රී පඤ්ඤාරාම හිමි


අපට සිටි ශ්‍රේෂ්ඨ සඟ රුවනක් වන යක්කඩුවේ හිමියන් ගැන ලියූ මේ ලිපිය ආචාර්ය වල්පොළ රාහුල හිමියන් විසින් රචිතයි.
(1960 දශකයේ වල්පොළ රාහුල හිමියන් ලියු ලිපියක්.උපුටා ගැනීම පුජිත ජීවිත අටවන වෙළුම.ඉතාමත්ම සීමිත පිටපත් ප්‍රමාණයක් ගොඩගේ පොත් මැදුරේ ඇත.)

යක්කඩුවේ ශ්‍රී පඤ්ඤාරාම හිමි by sinhalaebooks



ඩී.බී ධනපාලයන් විසින් ඔහුගේ Among Those Present කෘතියේ යක්කඩුවේ හාමුදුරුවන් ගැන රචිත Yakkaduwe Thero ලිපිය පහත දැක්වේ.

Yakkaduwe Thero by sinhalaebooks

අපේ යතිවරු - වීදුරුපොල පියතිස්ස හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

වීදුරුපොල පියතිස්ස හිමි by sinhalaebooks

අපේ යතිවරු - වස්කඩුවේ ශ්‍රී සුභුති හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

වස්කඩුවේ ශ්‍රී සුභුති හිමි by sinhalaebooks

අපේ යතිවරු - වැලිවිටියේ ශ්‍රී සෝරත හිමි



උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

වැලිවිටියේ ශ්‍රී සෝරත හිමි by sinhalaebooks

අපේ යතිවරු - වැලිවිටියේ ශ්‍රී පුඤ්ඤසාර හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

වැලිවිටියේ ශ්‍රී පුඤ්ඤසාර හිමි by sinhalaebooks

අපේ යතිවරු - වැලිතර ඤාණතිලක හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

වැලිතර ඤාණතිලක හිමි by sinhalaebooks

අපේ යතිවරු - වැලිපටන්විල දීපංකර හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

වැලිපටන්විල දීපංකර හිමි by sinhalaebooks

අපේ යතිවරු - උඩකැන්දවල සිරි සරණංකර හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

සමාජවාදී පොතේ ගුරකු නොවී ව්‍යවහාරික සමාජවාදියකු වූ උඩකැන්දවල සරණංකර හිමි ධර්මපාල තුමන් ගැන නවලෝකය සඟරාවට ලියූ ලිපියද පහතින් පළවෙයි.

ධර්මපාල තුමා උපන්නේ ලංකාව අධිරාජ්‍ය ක්‍රමයට යටත් වීමෙන් ලාංකිකයන් ඉතා අවාසනාවන්ත, අන්ධකාර යුගයක වාසය කරන අවස්ථාවකදී ය. සුද්දන්ට එකල මෙරට ක්‍රීඩා භූමියක් ව පැවැත්තේ ය. ආණ්ඩුකාරයාගේ කීමත් කිරීමත් තමයි එකල පැවැති නීතිය. වතු කොම්පැනිවලට වුවමනා අන්දමට තමයි මෙරට පාලනය කළේ. ඒ සම්බන්ධ ව පාලකයන්ට අවවාද-අනුසාසනා කළේ ක්‍රිස්තියානි පූජකවරු ය. ක්‍රිස්තියානි නූණ කෙනකුට රජයේ රක්ෂාවක් ලබාගැනීම පවා ඉතා අපහසු කරුණක් විය.

ජාතිය ඒ අවස්ථාවේ කොපමණ පිරිහීමකට පත් වී සිටියේ ද කියතොත් බෞද්ධාගම අදහන්නෝ පවා ක්‍රිස්තියානි නම්වලින් පෙනී සිටියෝ ය; ජාතික අනුරාගය යනු කුමක් දැ යි කිසිවෙක් නොදැන සිටියෝ ය. ජාතිය කොපමණ පිරිහීමකට පත් වී සිටියේ ද කියතොත් මෙරට පැරැණි ආගම්, සිරිත්-විරිත්, නම්-ගම් සිංහලයෝ ඉතා තදින් අපි‍්‍රය කළෝ ය. එවැනි අන්ධකාර ජාතික පිරිහීම් කාලයක තමයි දොන් කරෝලිස් හේවාවිතාරණ මහතාගේ පුත්‍රයා වන අනගාරික ධර්මපාල සියල්ල අතහැර, ජාතික පිරිහීම් මාර්ගයට අවහිර කිරීමට ඉදිරිපත් වූයේ.

එතුමා යුරෝපීය චාරිත්‍ර-වාරිත්‍ර අනුගමනය කරන්නන් ප්‍රසිද්ධියේ හෙළාදකින්නට විය; යුරෝපීය නම්-ගම් අතහැර, සිංහල නම්-ගම් නැවැත පාවිච්චි කිරීමට අවවාද කළේ ය; රටේ කර්මාන්ත දියුණුව, අධ්‍යාපනය නගා නොසිටුවීමෙන් ජාතිය පිරිහී යන බව ප්‍රකාශ කළේ ය. එදා වැදගත් ය කියමින්, අධිරාජ්‍ය ආණ්ඩුවට පන්දම් අල්ලාගෙන සිටි සෑම දෙනකු ම ජීවත් වූයේ යුරෝපීය පන්නයට යි. ඔසරි ඇඳීම පැවැතියේ උඩරට පළාත්වල පමණකි. ඉංගී‍්‍රසි ‘පැෂන්’ අනුගමනය කළ ධනපති රදල හා අධිරාජ්‍ය පන්දම්කාරයෝ ඔසරිය අඳින ස්ත්‍රීන් ගම්බද නූගත් ස්ත්‍රීන් මෙන් සැලකූ හ.
නුමුත් අනගාරික තුමා ධනපති පන්තියේ මේ නින්දිත හැඟීම් ප්‍රසිද්ධියේ හෙළාදකින්නට විය; ප්‍රසිද්ධ රැස්වීම්වලදී යුරෝපීය අනුගාමික ස්ත්‍රීන්ට ඉදිරියේ ම දොස් පැවැරී ය. අනගාරික තුමා කථා කළ ඇතැම් රැස්වීම්වලට මොවුහු පැමිණීමට භය වූ හ. ඇතැමෙක් එතුමාට නින්දා කළෝ ය. පැවිදි නායකවරුන් හා කවදත් ධනපති අධිරාජ්‍ය පැත්තට බණ කියන ඇතැම් පූජකවරු එතුමාට පිස්සකු ය යි නිග්‍රහ කළෝ ය. එතුමාගේ කථාවලට විරුද්ධ ව සමහරු බණ දේශන කිරීමට පවා ලජ්ජා නො වූ හ.

ලංකා පැවිදි පක්‍ෂයේ කුසීතකම් ගැන පළමුවෙන් ම පහර දුන්නේ ධර්මපාල තුමා ය. ‘පඩික්කම් පුරවන්නෝ ය’, ‘කිසි ම ප්‍රතිපත්තියක් නැති ව බත් කා හරකුන් මෙන් නිදන්නෝ ය’ කියා පූජක පක්‍ෂයට දෝෂාරෝපණය කළේ ය. වරක් මහනුවර සංඝසභාවේ කෙරෙන අකටයුතු ගැන කෝප වූ මෙතුමා ඊට ‘බුඩ්ඪ පබ්බජිත සභාව’ ය යි කියා නිග්‍රහ කළේ ය. එදා පැවැති තත්ත්වය අනුව බෞද්ධාගමේ ප්‍රචාරයක් නැති ව, රටේ නැති වේගෙන ගිය මෙරට සභ්‍යතාව ම ආරක්ෂා කළ නොහැකි බව අනගාරික ධර්මපාල තුමා ගෙන ගිය සටනත් ඇත්ත වශයෙන් අධිරාජ්‍ය ක්‍රමයට විරුද්ධ ව ගෙන ගිය සටනකි. එදා පල්ලිය කල්පනා කළේ මේ රටවාසීන් සියලු දෙනා ම ක්‍රිස්තියානිය වැලැඳගත හොත් මෙහි අධිරාජ්‍ය ක්‍රමය තහවුරු වන බව යි. ඒ අදහසට විරුද්ධ ව තමයි අනගාරික ධර්මපාල තුමා තනි ව ම සටන් කළේ.

“ලාංකික ක්‍රිස්තියානි භක්තිකයන් ලාංකික පාදිලිවරුන් පත් කරගත යුතු ය” යි දිනක් ධර්මපාල තුමා ප්‍රකාශ කළා මට මතක යි. ඔහු මේ ගෙන ගිය සටන ක්‍රිස්තියානි ආගමට විරුද්ධ නම් එවැනි ප්‍රකාශයක් කළ හැකි නො වේ. ඔහුගේ මතය වූයේ විදේශීය අධිරාජ්‍ය ඒජන්තවරුන් වන පාදිලිවරුන්ගේ බලය මෙරට ක්‍රිස්තියානි භක්තිකයන් අතර පැතිර යෑම ඔවුන්ගේ ජාතික හැඟීම පිරිහීමට හේතු වේ කියා යි.

ධර්මපාල තුමාගේ ‘දැනගත යුතු කරුණු’ නමැති ‘සිංහල බෞද්ධයා’ පත්‍රයේ සතිපතා පළ වූ ලිපිය මට නව ජීවනයක් දුන්නේ ය. මට පමණක් නො වෙයි, අද ලංකාවේ සිටින දහස් ගණන් දේශප්‍රේමීන්ගෙන් වැඩි දෙනකුගේ දේශප්‍රේමය අවුස්සා, අධිරාජ්‍යවාදයෙන් මෙරට නිදහස් කරගැනීමේ පරමාර්ථය, ආශාව ඔවුන් තුළ රෝපණය කළේ ධර්මපාල තුමා බව කීමට මම කිසි සේත් භය නො වෙමි. එය සෑම දේශප්‍රේමියකු විසින් ම පිළිගන්නා සත්‍යයක් යනු මගේ ඒකාන්ත හැඟීම යි.

පසුකාලයේ එතුමා බොහෝදුර වෙනස් වූ බව ඇත්තකි. නුමුත් අධිරාජ්‍යවාදයෙන් - එතුමාගේ භාෂාවෙන් කියතොත් ‘සුද්දන්ගෙන්’ - මෙරට නිදහස් කරගැනීම ගැන ඔහු කිසි කලෙකත් විරුද්ධ නො වී ය. එතුමාගේ අන්තිම කාලයේදී පැවිදි වූවාට පසු එක් සවසක මම එතුමා සම්භ වීමට කල්කටාවේ පිහිටි ධර්මරාජික විහාරයට ගියෙමි. මා සමග මඳක් අසන්තෝෂයෙන් සිටි කාලයකි මේ. නුමුත් මා දුටු හැටියේ එතුමාගේ මුහුණ පී‍්‍රතියෙන් පිනා ගියේ ය. එක්තරා රැස්වීමකදී මා වංග භාෂාවෙන් කථාවක් පවත්වන සැටි දැකපු මෙතුමා එය සිතේ තබාගෙන සිටි හැටිය ගැන පුදුම වූයෙමි. ඒ කථාව ගැන තමා පී‍්‍රති ව සිටින බවත් ඒ අන්දමේ කථා පැවැත්වීමෙන් ටික කලකදී ම ඉන්දියාවත් ලංකාවත් අතර විශාල සම්බන්ධයක් ඇති වන බවත් ඒ සමගි බලවේගයෙන් ම ආසියාතික රටවලින් සුද්දන්ට යන්ට සිදු වන බවත් ප්‍රකාශ කළා මට අද මෙන් මතක ය.

“මා 1915 පටන් 1919 දක්වා හිර කර තැබුවා. 1915දී මා ලංකාවේ සිටියා නම් සුද්දන් මට ඒකාන්තයෙන් ම වෙඩි තබනවා ම යි” කියා, “මගේ අදහස් වෙනස් වී ඇත යනු බොහෝ දෙන සිතතත් එසේ වී නැත. නුමුත් අපි කරන සෑම දෙයක් ම අපේ අවාසියට ඉංගී‍්‍රසින් තීන්දු කරන නිසා මට ටිකක් නිශ්ශබ්ද වී සිටින්නට සිදු වී තිබේ” ය යි කී දේවමිත්ත හාමුදුරුවෝ තවදුරටත් මෙසේ කී ය; “ලංකාවේ උන්නාන්සේලාට මොළයක් නැත; උට්ඨාන වීර්යයක් නැත;සීලයක් නැත; ජාතිහිතෛෂිකමක් නැත. ඒ නිසා සිංහල ජාතිය දිනෙන් දින පිරිහීගෙන යන්නේ ය. උන්නාන්සේලා අතර කුල භේදයත්, කුසීතකමත්, තණ්හාවත් නිසා කාලකණ්ණි මෝල්ලුන් කොටසක් ව සිටිති. දැන් මම මහලු ව සිටිමි. මට කිසි දෙයක් නැත. මගේ සම්පූර්ණ විශ්වාසයත් බලාපොරොත්තුවත් දේවපි‍්‍රය පමණකි. මම කළ සියලු ආගමික හා ජාතික වැඩවලට ලංකාවෙන් මට ලැබුණේ දොස් පමණකි; බැණුම් පමණකි. පිරිහීම් ප්‍රපාතයට මූණපා විනාශ වේගෙන යන ආගම හා ජාතිය නැගිටසිටුවීම දැන් ඉතින් තමුන්නාන්සේලා අත තිබෙන දෙයක්” ය යි කී ය. පැයක් පමණ මේ කළ සාකච්ඡාවේදී මේ ඔත්පළ ව සිටි ජාතික වීරයා කළ ප්‍රකාශයේ වේගය මගේ ලේ-මස්-නහර විනිවිදගෙන ගියේ ය. ඒ කී සෑම වචනයක් ම මගේ සිත තුළ අදත් රැව්-පිළිරැව් දෙයි.

මෙතරම් ශ්‍රේෂ්ඨ ජාතික වීරයකු ඇති වන ජාතිය කොපමණ ශ්‍රේෂ්ඨ ද? වාසනාවන්ත ද? නුමුත් මුළු ජීවිතය ම මහජනයා වෙනුවෙන්, රට වෙනුවෙන් සටන් කළ ඒ වීරයාට අපේ ජාතිය දුන් තෑග්ග එතුමාට නිගා කොට කොන් කරදමා, එතුමා බෞද්ධ ප්‍රචාරකයකු පමණක් කිරීම යි. එය ජාතික නින්දාවකි. ධර්මපාල තුමා බෞද්ධ ප්‍රචාරකයෙක් පමණක් නො වෙයි. ඔහු අපේ ජාතියට නව ජීවනයක් දුන් ජාතික වීරයෙකි; බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙකි; චින්තකයෙකි; ලේඛකයෙකි; ජාතික නායකයෙකි.


"සටනක සටහන් " එතුමන්ගේ ස්වයං ලිඛිත අපදානයයි.

උඩකැන්දවල සිරි සරණංකර හිමි by sinhalaebooks

අපේ යතිවරු - රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමි by sinhalaebooks

අපේ යතිවරු - පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

මේ එතුමන්ගේ චරිතයයි.

පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත හිමි by sinhalaebooks

අපේ යතිවරු - පැලෑනේ සිරි වජිරඤාන හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

පැලෑනේ සිරි වජිරඤාන හිමි by sinhalaebooks

අපේ යතිවරු - නාරද හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

නාරද හිමි by sinhalaebooks

අපේ යතිවරු - මහගොඩ ඤානිස්සර හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

මහගොඩ ඤානිස්සර හිමි by sinhalaebooks

අපේ යතිවරු - ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද හිමි by sinhalaebooks

අපේ යතිවරු - කොටහේනේ පඤ්ඤාකීත්ති හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

කොටහේනේ පඤ්ඤාකීත්ති හිමි by sinhalaebooks

අපේ යතිවරු - කොටගම වාචිස්සර හිමි



කොටගම වාචිස්සර හිමියන් ගැන මතකය අවදි කරන්නේ හව්පේ ශ්‍රී සෝමානන්ද නා හිමියන්


“යුක්ති සහගත, සාධාරණ, ආර්ථික ක්‍රමයක් ගොඩනැඟිය හැක්කේ කොමියුනිස්ට් වාදයටයි.

ආධ්‍යාත්මික වශයෙන් මිනිසා ඉහළ තලයකට නැංවිය හැක්කේ බුදු දහමටයි. මේ දෙක මුසුවුණු දර්ශනයක් ගොඩනැඟුණා නම් නැතිනම් කාල්මාක්ස් තුමාට බුදු දහම හමුවුණා නම් භෞතික හා ආධ්‍යාත්මික වශයෙන් දියුණු මිනිස් සමාජයක් ලෝකයේ බිහිවෙනවා.


සෝවියට් රුසියාවේත්, චීනයේත් මා කළ සංචාරයෙන් මා දුටු දෙය නම් සම්පත් සාධාරණව බෙදී යන යුක්ති සහගත සමාජයක් එහි ඇති බව. එහෙත් ඒ ත‍ත්ත්වය දිගටම පවතීයයි මා සිතන්නේ නැහැ. එය දිගටම පවතින්නට නම් මිනිස් සිතේ ඇති තණ්හාව, ද්වේශය, මෝහය කියන කෙලෙස් තරමක් දුරට හෝ සංසි‍ඳෙන්නට ඕනෑ. ඒ රටවලට බුදු දහමේ ආලෝකය වැටුණොත් දැන් ඒ රටවල පවතින යහපත් සමාජය දිගටම පවතීවි. නැතිනම් කෙලෙස් විසින් එම තත්ත්වය විනාශ කොට දමාවි.”


1964 දී මාතර කොමියුනිස්ට් පක්ෂ තරුණ සම්මේලනයක දී එක් හිමි නමක් පැවැසූහ. කොමියුනිස්ට් පක්ෂ නායක දොස්තර ඇස්‍.ඒ‍. වික්‍රමසිංහ මහතා ඒ අදහස් අනුමත කෙළේ ය.

ඒ සමාජවාදී රටවල යළි ධනපති ක්‍රමය දෙසට හැරෙන්නට වසර‍ කීපයකට පෙර මේ අනාවැකිය පළ කළ ඍෂිවරයා වූයේ මහාචාර්ය පණ්ඩිත කොටගම වාචිස්සර හිමිපාණෝ ය.


රුසියානු මහා ජනතා විප්ලවය සිදුවූ 1917 දී කෑගල්ල දිසාවේ කොටගම දී මේ හිමියෝ උපත ලැබූහ. උන්වහන්සේගේ ගිහිනම රත්නායක මුදියන්සේ රාලහාමිලාගේ සෝමපාල බණ්ඩාර ය. සෝමපාල බණ්ඩාරගේ පියා උක්කු බණ්ඩාර ය‍. මව පණ්ඩිතරත්න මුදියන්සේලාගේ මැණිකේ ය. ගම්පති සහ කෝරලේ තනතුරු දැරූ පළාතේ ප්‍රභූවරයකු වූ ‍උක්කු බණ්ඩාර මහතාට සහ මැණිකේට පුත්තු හත්දෙනෙකි. සෝමපාල බණ්ඩාර හයවැන්නා ය.‍


මේ පැංචා ළමා වියේ දීම ගමේ ජනතාවගේ සිත් දිනාගත්තේ ඔහුගේ කටකාර, හුරුබුහුටි, අවංක ගති පැවතුම් නිසා ය. ඔහු සත්වන පන්තිය දක්වා අධ්‍යාපනය ලැබූයේ රඹුක්කන පින්නවල රජයේ පාසලෙනි‍.

පාසලේ හොඳම කථිකයා වූයේ ඔහු ය. ක්‍රීඩාවේ ද සමතෙක් විය. වාර විභාගවලදී මුල් තැන ගත්තේ ඔහු ය.


කොටගම පන්සලේ ලොකු හාමුදුරුවන් වූ කොටගම ධම්මානන්ද හිමි හමුවීමට විටින් විට පාමංකඩ ශ්‍රී මහා විහාරාධිපති කෝදාගොඩ ශ්‍රී ප්‍රඥානන්ද හිමියෝ වැඩම කළහ. ඒ දෙ‍නම කලණ මිතුරෝ ය.

දිනක් ප්‍රඥානන්ද හිමියන්ට කොටගම පන්සලේ දී උක්කුබණ්ඩාර සහ සෝමපාල බණ්ඩාර දක්නට ලැබිණ. දෙදෙනාගේ ම සැදැහැවත් පෙනුම ඒ හිමියන්ගේ සිත් දිනුයේ ය.

සෝමපාල බණ්ඩාර සමඟ උන්වහන්සේ කතා බහේ යෙදුණහ. වයසට වඩා වැඩුණු බවක් ද, ශාන්ත නිවුණු බවක් ද දරුවා ගෙන් පෙනිණ. හිමියෝ “මේ දරුවා බුදු සසුන බබුළුවන කෙනෙක් වෙනවා” යි ධම්මානන්ද හිමියනට පැවසූහ.

“මා කැමැතියි මේ දරුවා මහණ කරගන්න” ප්‍රඥානන්ද හිමියන්ගේ කැමැත්තට ඉඩ ලැබිණ. 1930 ජූලි 27 වැනි දා සෝමපාල බණ්ඩාර කොටගම වාචිස්සර නමින් පැවිදි වූයේ ය.

පාමංකඩ ශ්‍රී මහා විහාරය, කළුබෝවිල සුනන්දාරාමය යන විහාරස්ථානයන්හි අධිපතිව වැඩ විසූ කෝදාගොඩ ධර්මකිත්ති ශ්‍රී සරණංකර පඤ්ඤානන්දාභිධාන කෝට්ටේ ශ්‍රී සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ අනුනායක හිමි, පාමංකඩ ශ්‍රී මහා විහාරය, කළුබෝවිල සුනන්දාරාමය යන විහාරස්ථානයන්හි පසුකලෙක අධිපති තනතුරු දැරූ කෝඹල මේධානන්ද හිමි, පාමංකඩ ශ්‍රී මහා විහාරයේ කෘත්‍යාධිකාරීව වැඩ විසූ ඉමදූව සීලරතන හිමි, කොටගම වාචිස්සර හිමියන්ගේ පැවිදි ආචාර්යවරු වූහ. වාචිස්සර පොඩි හාමුදුරුවන්ට ශ්‍රී මහා විහාරයේ කුටියක් වෙන්විය. වසරක් ම උන්වහන්සේ පඤ්ඤානන්ද ලොකු හාමුදුරුවන්ගෙන් බණ දහම් පොත් ඉ‍ගෙන ගත්හ.

වාචිස්සර හිමි පැවිදි වී වසරකට පසු ලොකු හාමුදුරුවන්ගේ අපවත්වීම සිදු විය.

එය දයාබර පියකු පුතකුට අහිමිවීමක් විය. එහෙත් පොඩි හාමුදුරුවන් අනාථ වන්නට හිතවත්තු ඉඩ නොදුන්හ. ශ්‍රී මහා විහාරාධිපති තනතුරට පත්වූ කෝඹල මේධානන්ද හිමි සහ ඉමදූව සීලරතන හිමි අපේ පොඩි හාමුදුරුවන් විද්‍යෝදය පිරිවෙනට ඇතුළු කළහ. විද්‍යෝදය පිරිවෙන්පති කහවේ රතනසාර නා හිමියන්ගේ සෙවණේ අධ්‍යාපනය ලැබූ වාචිස්සර හිමියන් සමඟ එකම පන්තියේ සිටි ශිෂ්‍යයෙකි හේම එල්ලාවල. වාචිස්සර හිමි පන්තියේ පළමුවැනියා වන විට හේම එල්ලාවල දෙවැනියා විය. හේම එල්ලාවල පළමු වැනියා වන විට අප හිමියෝ දෙවැනියා වූහ.

පිරිවෙනේ සෑම පන්තියකදීම උන්වහන්සේ ගෞරව සාමාර්ථ සමඟ ත්‍යාග ද ලැබූහ. 1941 දී පිරිවෙනේ අවසාන පන්තිය සමත්වූයේ ගෞරව ප්‍රථම ස්ථානය ලබමිනි. පිරිවෙනේ දක්ෂම ශිෂ්‍යයාට වෙන් කැරුණු ශ්‍යාම රාජ ත්‍යාගය ද උන්වහන්සේට ලැබිණ. ප්‍රාචීන භාෂොපාකාර සමිතියේ විභාගවලට ද පෙනී සිටි අප හිමියෝ සිංහල, පාලි, සංස්කෘත විෂයයන්ගෙන් ගෞරව පන්තියේ සාමාර්ථයක් සහිතව පණ්ඩිත උපාධිය දිනූහ. ගෞරව පන්තියේ පළමු වැනියාට වෙන් කැරුණු උභයශේඛර ස්වර්ණ මුද්‍රිකාව ද උන්වහන්සේට හිමි විය.

අධ්‍යාපන කටයුතුවල යෙදෙන අතර උන්වහන්සේගේ සිත ජාතික හා අන්තර්ජාතික වශයෙන් පවතින සමාජ - දේශපාලන ගැටලුවලට ද යොමු විය.

උන්වහන්සේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළු වූ වර්ෂයේය සිරිදේව මිත්ත හිමියන්ගේ (අනගාරික ධර්මපාල) අපවත්වීම සිදුවූයේ. කහවේ රතනසාර පිරිවෙන්පති හිමි ඇතුළු භික්ෂු පිරිසක් දඹදිවට ගොස් එතුමන්ගේ ආදාහන කටයුතුවල ද සහභාගි වූහ. ධර්මපාල තුමා ජාතික, ආගමික, දේශපාලනික ප්‍රශ්න පිළිබඳව කළ කතා වාචිස්සර හිමියන්ට ද අසන්නට ලැබිණ. ඒ කතා තුළින් ද උන්වහන්සේ ලංකාවේ, සිංහලයන් සහ බෞද්ධයන් පිරිහී ඇති තත්ත්වය වටහා ගත්හ.

රටත්, ජාතියත්, ආගමත් ගොඩගැනීම සඳහා විශාල කැපවීමකින් අප කටයුතු කළ යුතු ය. දැනට දේශපාලන බලයේ සිටින සුද්දන් සහ කළු සුද්දන් පළවා හැරීමේ වැඩ පිළිවෙළක් අවශ්‍යයි‍. උන්වහන්සේට පෙනුණේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන යන සමාජවාදී නායකයන් ගේ සම සමාජ ව්‍යාපාරයයි.

“සමාජවාදී නායකත්වයකින් පමණයි රටට සැබෑ නිදහසක් ලබාගත හැක්කේ” යන මතයට අප හිමියෝ නැඹුරුවූහ.

1942 දී කොටගම වාචිස්සර හිමියෝ උපසම්පදාව ලැබූහ.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් සහ මහනුවර ධර්මපාල විද්‍යාලයෙන් ඉංග්‍රීසි ඉගෙන ගත් අප හිමියෝ 1951 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය සඳහා ඉදිරිපත් වූහ. එයින් සමත් වූ උන්වහන්සේ 1952 එම විශ්ව විද්‍යාලයෙන් ම ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ඉහළ සාමාර්ථයක් සහිතව දිනාගත්හ.

1953 දී ඒ විශ්වවිද්‍යාලයෙන් ම ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට ද අප හිමියනට හැකි විය. 1961 දී අප හිමියෝ එංගලන්තයේ ලීඩ්ස් විශ්වවිද්‍යාලයෙන් ළමා මනෝවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබාගත්හ.

ඒ වර්ෂයේදී ම උන්වහන්සේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ම ආචාර්ය උපාධිය ද දිනාගත්හ. ආචාර්ය උපාධිය සඳහා උන්වහන්සේ ඉදිරිපත් කළේ ‘වැලිවිට සරණංකර සහ බුද්ධධර්මයේ පුනර්ජීවය නම් වූ නිබන්ධනයයි. පසුකලෙක 1960 දී ‘සරණංකර සංඝරාජ සමය’ නමින් සිංහලයෙන් ප්‍රකාශයට පත් වූයේ එයයි. 1962 දී උන්වහන්සේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපන විද්‍යාව පිළිබඳ උපාධියක් ලැබූහ. ඒ විශ්වවිද්‍යාලයේ ම මහාචාර්ය රීඩ්ස්, මහාචාර්ය ලෝරි, මහාචාර්ය වර්නන් සමඟ එක්ව අප හිමියෝ මනෝවිද්‍යාව සහ අධ්‍යාපන දර්ශකය පිළිබඳ පර්යේෂණ පැවැත්වූහ.


ආචාර්ය කොටගම වාචිස්සර හිමිපාණෝ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන, මහනුවර ධර්මරාජ විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, විද්‍යෝදය විශ්ව විද්‍යාලය සහ එංගලන්තයේ ලීඩ්ස් නගරයේ විද්‍යාල දෙකක ගුරුවරයකු වශයෙන් සේවය කළහ

ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලැබීමෙන් පසු අප හිමියෝ කොළඹ ආනන්ද විදුහලේ ආචාර්ය මණ්ඩලයට එක්වූහ. ආරෝහ පරිනාහ දේහයකින් යුක්ත වූ උන්වහන්සේ කුඩා මයිනර් මෝටර් රියක ඉදිරි අසුණේ අපහසුවෙන් වැඩ සිටින හැටි, “ළමයිනේ මේකේ හිරවෙලා එන්න අමාරුයි” කියමින් පාසල් ගේට්ටුව ළඟදී රියෙන් බසින හැටි ආනන්දයේ දරුවනට මතකය.


මහ පාරේදී දුටුවත් ශිෂ්‍යයෝ උන්වහන්සේට බිම වැටී වඳිති. ළමා සිත් අති මහත් වූ ගුරු බැතියෙන් ඉපිළ යන හෙයිනි. කොටගම ගුරු හිමියන් වැඩසිටින විට පන්ති කාමරය රස ගුලාවක් වෙයි.

ඉගැන්වූයේ බුදු දහම ය. පාඩම ශිෂ්‍යයන් නිදි ගන්වන එක් නොවීය. බුදුරජාණන්වහන්සේ පිළිබඳව සැදැහැය සිතේ පුරවාලන, ප්‍රශ්න මතු කරවන, මතු වූ ප්‍රශ්නවලට විසඳුම් සැපයෙන, සැක දුරු කැරෙනා කදිම ඉගැන්වීමේ ක්‍රමයක් උන්වහන්සේ සතු විය.

පන්තියේ සෑම ශිෂ්‍යයකු ගැන, ඔවුන්ගේ මාපියන් ගැන, පවුල් පසුබිම ගැන , උන්වහන්සේ දනිති. ඒ ළමයින්ගේ පියවරුන්ගේ දේශපාලන මත ද දනිති. යූ.ඇන්.පී. කාරයගෙ පුතා, සමසමාජ කාරයාගෙ පුතා, යනුවෙන් උන්වහන්සේ ශිෂ්‍යයන් ද අමතති.

වැඩවෙලාවට වැඩ. ළමා වියේ ඉගෙනීම, වෙන අනම් මනම් එපා. ගුරු හිමියෝ කියති.

වරදක් දුටු සැණින් උන්වහන්සේ රළු හඬින් කෑ ගසති. ඒ රළු හඬ තුළ ද ඇත්තේ දයාව - කරුණාව - ළමයි එය දනිති.

“ඔහොම වැඩ කරල බැහැ” කියමින් ශිෂ්‍යයන් නැඟිටුවති.

“මෙහෙ එනවා. නුඹේ පුණ්‍ය මහිමය දැන් දියවෙලා. ගොන් වස්සෙක් වගේ අතන මෙතන දුවන්නෙ නැතිව පාළි ටිකකුත් ඉගෙන ගන්නවා. නුඹට ඉංග්‍රීසියි - සිංහලයි හොඳට පුළුවන් බව මා දන්නවා. පාළි ඉගෙන ගත්තොත් ඒකත් හොඳයි.”

දිනක් උන්වහන්සේ ගේ ශිෂ්‍යයකු වූ සුනන්ද මහේන්ද්‍රට කීහ. (පසුකලෙක මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර වූයේ ඔහු ය)

“නුඹට තියෙන්නේ නළුකමයි, කොලුකමයි විතරයි. ඒ මදි උගත්කමත් තියෙන්න ඕ‍න... හොඳට ඉගෙන ගනින්. පාඩම් කරපන්” අප හිමියෝ ශිෂ්‍ය ආනන්ද ජයරත්නට කීහ. පසුකලෙක ඔහු කීර්තිමත් නළුවකු සහ ඉංග්‍රීසි ආචාර්ය වරයෙක් විය.

ගොන්වස්ස, පාංකඩය, බොහොඩ්ඩා වැනි වචන උන්වහන්සේගේ මුවින් නිතර පිටවිය. ඒ වචන රළු වුව ද තරහ මුසුව නොතිබිණ. ඒ සැණින් ගුරු හිමි සිත කරුණාව පිරේ. ශිෂ්‍යයන්ගේ මාපියන් හමුවී කතා බහේ යෙදී දරුවන්ට යහ මඟ පාදා දෙයි.

ඩී.බී. නිහාල්සිංහ, අශෝක පොන්නම්පෙරුම, ඒ.ඩී. රංජිත් කුමාර, සුනන්ද මහේන්ද්‍ර, බන්දුල පද්මකුමාර, බැසිල් රාජපක්ෂ, රාජිත සේනාරත්න, ආනන්ද ජයරත්න, එල්මෝ ගුණරත්න, ජෝජ් ලෙස්ලි රණසිංහ ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කීර්තිමත් වූ මහ පිරිසක් උන්වහන්සේගේ ශිෂ්‍යයන් අතුරෙන් මතුවූහ.

ආනන්ද විද්‍යාල ශිෂ්‍යයන් හඬා වැලපුණු දවසක් උදාවිය. ඒ කොටගම ගුරු හිමියන් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ බුදු දහම පිළිබඳ මහාචාර්ය තනතුරක් ලැබී ආනන්දයෙන් සමුගත් හෙයිනි.

“මතක තියාගන්න දරුවනේ, ඔය වයසේදී කළ යුත්තේ ඉගෙනීමමයි. මුළු කාලයම ඉගෙනීමට යොදවන්න.”

අවසාන අවවාදය ද ළමයින්ට දුන්හ. අලුත් ශිෂ්‍ය පිරිසක් විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් උන්වහන්සේට ලැබිණ.

ශිෂ්‍යයන්ගේ විචාර ශක්තිය තියුණු කරවමින්, විමසුම් නුවණ මතු කරවමින්, රසවත්, ප්‍රාණවත් දේශන ඉන්පසු විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් අසන්නට ලැබිණ. මහ වියතුන් රැසක් විද්‍යෝදයෙන් බිහි කිරීමට අප හිමියෝ මුල් වූහ.

උන්වහන්සේ ගේ ‘පාමංකඩ’ ශ්‍රී මහා විහාරයීය පැවිදි ශිෂ්‍යයෝ දෙනමකි.
වර්තමාන පාමංකඩ ශ්‍රී මහා විහාරය, කළුබෝවිල සුනන්දාරාමය යන උභය විහාරාධිපති, හෝමාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක, සද්ධර්මකීර්ති ශ්‍රී සරණංකර හව්පේ ශ්‍රී සෝමානන්ද නා හිමි සහ ඇ‍ෙමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ‍ධර්ම විජය බෞද්ධ විහාරාධිපති, ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වල්පොළ පියනන්ද නා හිමි ඒ දෙනම ය.

පා වහනින් තොරව මහ පොළොවේ පා තබා සිටි අප හිමියෝ උඩඟුවෙන් මානයෙන් තොරව, පොදු ජනතාව සමඟ ම සිටියහ.‍ ආචාර්ය මහාචාර්ය කම් තිබුණ ද උන්වහන්සේ මුඩුක්කුවල, පැල්පත්වල බණට, දනට, පිරිත්, අවමඟුලට ද වැඩියහ. කුණු ගඳ හමන කානු අසල වූ පැල්පත් වලට ද වැඩියහ.

“ඇයි මේ වගේ ගමන් යන්නෙ. ඔබ වහන්සේ වගේ කෙනකුට ඔය වගේ තැන් ගැළපෙන්නේ නැහැ. පොඩි උන්නාන්සේ වගේ කෙනෙක් යවල පන්සලට වෙලා ඉන්න...” ඇතැම් මහ නාහිමිවරු අප හිමියන්ගේ දුගී ඇසුර හෙළා දුටහ.‍

උන්වහන්සේ සිනා සී ප්‍රශ්නයකින් ම පිළිතුරු දුන්හ.

“ඒක ද බුදු හාමුදුරුවන්ගේ පිළිවෙළ? උන්වහන්සේ වැඩියේ රජගොල්ලන්ගේ, සිටු ගොල්ලන්ගේ මන්දිරවලට විතරද?

නා හිමිවරු ගොළු වූහ.

“මුඩුක්කුවල, පැල්පත්වල, ජීවත්වන මේ මිනිස්සු ලොකු කොම්පැනිවල, පැක්ටේරිවල වැඩ කරන කම්කරුවො. ඒ අයට ගෙවන්නේ අඩු මුදලක්. ලොක්කන්ගෙ සූරා කෑමට දරුණු විධියට ගොදුරු වෙනවා. ඔවුන් මේ ජීවිතෙන් මුදාගන්න වැඩපිළිවෙළක් අපේ වාමාංශික නායකයන් වන ඔය ඇත්තන්ට නැහැ.”

‍උන්වහන්සේ ශ්‍රී මහා ‍විහාරයට එන ඇන්.ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ, ධර්මකීර්ති ජයසේකර (කීර්ති බාලසූරිය) වැනි දේශපාලනඥයන්ට කීහ.

සැබ‍ෑ විප්ලවීය වුවමනාවකින් සංවිධානය කිරීමේ ශක්තිය මේ නායකයන්ට නැති බව දුටු අප හිමියෝ 1956 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. ‍බණ්ඩාරනායක මහතාග් නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ බලයට පත් කිරීමට මුළු ශක්තියම යෙදවූහ.

ඒකාධිපති මත ප්‍රකාශ කරමින්, නිදහස් මත හෙළා දුටු එ.ජා.ප. නායකත්වය පළවා හැරීමට අප හිමියෝ ‘මාර යුද්ධය’ නම් වූ පෝස්ටරය පිළියෙල කිරීමට උපදෙස් දුන්හ. එ.ජා.ප නායකයා ඒ පෝස්ටරයේ මාරයා විය. මාරයා බුදුන් සමඟ සටනට එන හැටි පළ වූ ඒ පෝස්ටරය නිසා සිංහල බෞද්ධයෝ කුපිත වූහ. මහ මැතිවරණයෙන් එජාපය ආසන අටට බැස්සේ ය. බණ්ඩාරනායක ගේ මහජන එක්සත් පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.

රජයක් ගොඩ නැඟුව ද උන්වහන්සේ ඒ රජයෙන් පෞද්ගලික ලාභ ප්‍රයෝජන නොපැතූහ; පීඩිතයාගේ නිදහස උදෙසා රජය කැපවෙනු ඇතැයි බලාපොරොත්තු වූහ. රජය ගොඩනැඟීමට හවුල් වූ ඇතැම් භික්ෂුහු තෙවසරකට පසු පෞද්ගලික ලාභ ප්‍රයෝජන උදෙසා අගමැතිවරයා නැසූ හැටි ද උන්වහන්සේට පෙනිණ. ප්‍රගතිශීලින් කියාගත් මහජන නියෝජිතයන් අල්ලස් ගෙන මහජන රජය පරාජ‍යට පත් කළ හැටි ද උන්වහන්සේට පෙනිණ. අන්තිමේදී 1965 දී බණ්ඩාරනායක ආණ්ඩුව ඇද වැටී යළි එ.ජා.ප‍. ය බලය අත්පත් කර ගත් හැටි ද උන්වහන්සේට පෙනිණ.

විදේශීය බහු ජාතික සමාගම්වලට යටත්වෙමින්, කෘෂි රසායනවලින්, කෘත්‍රිම පෝරවලින් රටේ පස වැනසී අනාගත මහා විපතක් සැලසුම් කැරෙනු 1965 දී අප හිමියනට පෙනිණ.

“මේ විපතට පස ගොදුරු කරන්න එපා” උන්වහන්සේ එ.ජා.ප පාලකයන්ට කීහ. දක්ෂම ගුරුවරුන් 120 කගේ සේවය අහිමි කොට, තවත් දහසකට පමණ ස්ථාන මාරුවීම් ලබාදී රටේ අධ්‍යාපනය අවුල් කළ රජයට අප හිමියෝ විරෝධය පෑහ. ඉලුක් යායවල් ගොයම් යායවල් ලෙස පෙන්වමින් අගමැතිවරයා රවටමින්, බහුජාතික සමාගම්වලට රට නිසරු කිරීමට, ඒ මගින් ‍විශාල මුදල් ප්‍රමාණයක් විදේශගත කරවීමට කපටි නිලධාරීන් ගෙන ගිය ව්‍යාජ වගා සංග්‍රාමයට එරෙහිව අප හිමියෝ නායකයන්ට කරුණු ඉදිරිපත් කළහ. ජනතාවට ඇත්ත පෙන්වා දුන්හ.

රට පුරා ධර්මදේශනාවලට වැඩම කිරීමට අප හිමියනට සිදුවිය. පැයක් බුදු බණ කී උන්වහන්සේ අඩ පැයක් රට වැනසෙන හැටි කීහ.

මේ නිසා අප හිමියනට ප්‍රබල සතුරු පිරිසක් ගොඩනැඟිණ.

“ඔය දේශනාවලට නොගොස් පොත් ලියන්න” දිනක් කොටගම හිමියනට වල්පොළ රාහුල හිමියෝ කීහ.

“බොලේ, මම පොත් ලිව්වත් ඒවායේ ලියවෙන්නෙත් මේ කතා කරන දේවල්ම තමයි. අපේ දුප්පත් මිනිසුන් පොත් කියවනවාට වඩා බණ අහන්න කැමැතියි. ඒ හින්දා මම මැරෙන කල් ම බණ කියනවා...”

අප හිමියෝ පිළිතුරු දුන්හ.

1961 දී සහ 1964 දී උන්වහන්සේ එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, මොංගෝලියාව, චීනය, රුසියාව ඇතුළු රටවල් රැසක සංචාරය කළහ.

සමාජවාදී රටවල ජන ජීවිතය උන්වහන්සේගේ සිත පහන් ‍ෙකළේ ය. මේ යුක්ති සහගත, සාධාරණ සමාජ තත්ත්වය ලංකාවේ ජනතාවට ද උදාවී අර මුඩුක්කු, පැල්පත් වැසියනට ද සැනසිල්ලේ ජීවත්වීමට හැකිවන්නේ කවදාද? උන්වහන්සේ ලංකාවට වැඩම කළ පසු ව‍ෙම් නායකයන්ගෙන් ඇසූහ.

බුදුදහමත්, මාක්ස්වාදයත් මුසු ජනතා හිතවාදී සමාජ ක්‍රමය පිළිබඳව උන්වහන්සේ කතා කළහ.

උන්වහන්සේගේ අම්මා පිළිකාවකට ගොදුරු ව‍ූවා ය. අප හිමියෝ එතුමිය මහරගම පිළිකා රෝහලට ඇතුළු කළහ. උන්වහන්සේගේ ශිෂ්‍යයෝ දායකයෝ ඇය රැක ගැනීමට වෙහෙසුනාහ. ඖෂධ සඳහා මුදල් ද අවශ්‍ය ආහාර පාන ද සපයා දුන්හ. අප හිමියෝ සිය මෑනියන් ළඟට වී දහම් දෙසූහ. පිරිත් කීහ.

ඇය මිය ගියාය. මවකට පුතකු දක්වන ආදරයේ, ගෞරවයේ ඉහළතම ආදර්ශය අප හිමියන්ගෙන් රටට පෙනිණ.

පන්සලේදී උන්වහන්සේ සිය ශිෂ්‍යයනට අණ නුදුන්හ. තමාගේ වැඩ තමා ම කැර ගත්හ. එහෙත් ශිෂ්‍යයෝ වහා ඉදිරියට පැන ගුරු හිමියන්ගේ කටයුතු කැරැ දුන්හ.‍

පන්සලේදීත්, පාසලේදීත්, විශ්වවිද්‍යාලයේදීත් විදේශ රටවලදීත් උන්වහන්සේට පුද සත්කාර අඩු නොවිණි.

උන්වහන්සේට ලැබෙන තුටු පඬුරු, පිරිකර කඳු දකින ඇතැම් හිමිවරු කොටගම හාමුදුරුවෝ සීවලී හාමුදුරුවෝ වගෙයි කීහ. එහෙත් ඒ සියල්ල ආවා - ගියා පමණි. කිසිවක් ළඟ රැඳුණේ නැත. යමක් ළඟ රැඳීම බරකි. සියල්ල අත් හැරීම සුවයකි. බුදු දහමේ ‍උසස් ම සිතිවිල්ල අත් හැරීම. සාමනේර වියේ සිට ම අත් හැරීම උන්වහන්සේගේ ගුණය විය.

නිරෝගී සිතක් මෙන් ම නිරෝගී සිරුරක් ද උන්වහන්සේට තිබිණ. ඉඳහිට රෝගී වුව ද උන්වහන්සේ එය නොසැලකූහ. එහෙත් 1969 අගෝස්තු 15 වැනිදා උන්වහන්සේට ඉවසුම් නොදෙන රෝගී තත්ත්වයක් ඇති විය. දායකයෝ උන්වහන්සේ පෞද්ගලික රෝහලකට ඇතුළු කිරීමට සැරසුණහ.

“එපා... ආණ්ඩුවේ මහ ස්පිරිතාලෙ මට හොඳයි... මට ඉක්මනට සනීප වෙන්න ඕන. මේ ආණ්ඩුව වෙනස් කරල ජනතාවට හිතවත් ආණ්ඩුවක් හදාගන්න ඕන.... මට ඉක්මනට සනීප වෙන්න ඕන...”

කායික වේදනාව දැඩි වුව ද උන්වහන්සේ කීහ.

කොළඹ මහ රෝහලට උන්වහන්සේ වැඩියහ. සැත්කමක් කළ යුතු විය‍. අප හිමියන් හඳුනන හිතවත් ‍නිර්වින්දන වෛද්‍යවරයෙක් ඒ වාට්ටුවේ සිටි‍යේ ය. ඔහු ඒ අවස්ථාවේ බැහැරකට ගිය බව අසන්නට ලැබිණ.

“ඒකට කමක් නැහැ. වෙනත් කෙනෙක් ලවා ඒක කරගනිමු...” හිමියෝ කීහ.

වෛද්‍යවරියක් නිර්වින්දන එන්නත දීමට ඉදිරිපත් වූවාය.

“ඔබට යහපතක් වේවා! ඔබ සුවපත්වේවා! සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!” කියමින් හිමියෝ දෑස පියා ගත්හ.

ඇය නිර්වින්දන එන්නත ලබා දුන්නාහ.

මොහොතකින් අප හිමියන්ට සිහිය අහිමි විය‍. ඒ සදහටම බව උන්වහන්සේ නොදත්හ. වෛද්‍යවරුන්, හෙදියන්, කලබලයෙන් එහා මෙහා දිවයනු ශල්‍යාගාරය අසල සිටි හව්පේ සෝමානන්ද හිමියනට පෙනිණ.

“මොකක්දෝ වැරදීමක් සිදුවෙලා...” කවුදෝ කීහ‍.

අඩ පැයකට පමණ පසු සිහිසුන් අප හිමියන් දැඩි සත්කාර ඒකකයට ගෙන යනු ලැබිණ.‍

අවසානයේදී තීන්දුව ලැබිණ.

“කොටගම වාචිස්සර හිමියන් අපවත් වෙලා...”

පුවත පැතිරිණ. රට ම කැලඹිණ. රජයේ අනුග්‍රහයෙන් ආදාහන උලෙළ පවත්වන බව ද කියැවිණ.

“අපිම අපේ හාමුදුරුවන්ගේ ආදාහනය කරනව...” ජනහඬ නැඟිණ.

එහෙත් රජය ආදාහන උලෙළ පැවැත්වීය. එහිදී ඊරියගොල්ල ඇමැතිතුමා “මහ සඟරුවනගෙන් අවසරයි” කියමින් ආදාහන උලෙළේ දෙසුමකට මුල පිරීය‍.

සඟරුවනේ අවසරය ලැබිණා ද මහජනයාගෙන් අවසරය නොලැබිණ. හූවක් නම් ලැබිණ.

ඇත්ත නැත්ත කුමක් වුව ද මේ අපවත් වීම, අපවත් කිරීමක් ලෙස, කුමන්ත්‍රණයක් ලෙස මතයක් රටේ පැතිරිණ.

මුඩුක්කු පැල්පත් පවා සුදු කොඩිවලින් වැසිණ. අපේ හාමුදුරුවෝ අපට නැතිවුණා කියමින් පීඩිතයෝ හඬා වැලපුණහ.

මහා සංඝපීතෲවරයෙක්, මහා ප‍ඬිවරයෙක්, උදාර මාර්ගෝපදේශකයෙක්, ව්‍යක්ත ජනප්‍රිය දේශකයෙක්, උත්තම ආචාර්යවරයෙක් ජනතා නායකයෙක්, ඒ නිර්වින්දන එන්නතත් සමඟ අපට අහිමි විය. මේ පොළොව මත ජීවත් වූයේ එක් පනස් වසරක් වුව ද උන්වහන්සේ සතුව පැවැති මහා කරුණාවත්, නුවණත් පිළිබඳ මතක දිගු කලක් පොදුජන හදවත්වල පවතිනු ඇත.



දෙනගම සිරිවර්ධන http://www.silumina.lk/2014/03/30/_art.asp?fn=af14033013 පහත දැක්වෙන ලිපිය උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

කොටගම වාචිස්සර හිමි by sinhalaebooks

අපේ යතිවරු - කෝදාගොඩ ශ්‍රී ඥානාලෝක හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

කෝදාගොඩ ශ්‍රී ඥානාලෝක හිමි by sinhalaebooks

අපේ යතිවරු - කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර හිමි by sinhalaebooks

අපේ යතිවරු - කිරිඇල්ලේ ඤාණවිමල හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

කිරිඇල්ලේ ඤාණවිමල හිමි by sinhalaebooks

අපේ යතිවරු - කලුකොඳයාවේ ශ්‍රී පඤ්ඤාශේඛර හිමි



මේ කලුකොඳයාවේ ප‍්‍රඥාශේඛර හිමියන් ගැන සිළුමිණ හී පළවූ ලිපියකි(http://www.silumina.lk/punkalasa/20071118/_art.asp?fn=ar0711188).


කලුකොඳයාවේ ප‍්‍රඥාශේඛර හිමියන් උපන්නේ් 1895 දෙසැම්බර් මස 30 වන දින සියනෑ කෝරලයේ ගඟබඩ පත්තුවේ පිහිටි කලුකොඳයාව නම් වූ ගමේ දී ය. දොන් ඉගෝනිස් යනු උන්වහන්සේ ගේ ගිහි නම වූයේ ය. උන්වහන්සේ පැවිදි බිමට පිවිසියේ 1911 දී ය. නවගමුවේ සුගත බිම්බාරාමයේ දැඩිගමුවේ ශීලක්ඛන්ධ හිමි හා කටුවාවල සුමනතිස්ස හිමි උන්වහන්සේ ගේ ගුරු හිමිවරු වූහ.


1913 දී උන්වහන්සේ විද්‍යෝදය පිරිවෙනට බැඳුණේය. 1922 දී රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනේ ගුරු තනතුරකට හිමිකම් කී උන්වහන්සේ 1926 දී යළිත් විද්‍යෝදය පිරිවෙනට ගියේ ය.

තමා කුඩා කල පටන් ම සිංහල පුවත්පත් සඟාවලට ඇලුම් කළ බව ප‍්‍රඥාශේඛර හිමියන් තම ස්වයං ලිඛිත චරිතාපදානයේ ප‍්‍රකාශ කර ඇත. (ස්වයං ලිඛිත ශ‍්‍රී ප‍්‍රඥාශේඛර චරිතාපදානය 1970) උන්වහන්සේ තරුණ වියේ සිට ම පුවත්පත්වලට ලිපි ලිවීමෙහි යෙදුණේ ය. ‘ලක්මිණි’, ‘දිනමිණ’ වැනි පුවත්පත්වල උන්වහන්සේ ගේ ලිපි පළ වී ඇත.


එසේ ම උන්වහන්සේ අතින් සිදු වූ ඉතා වැදගත් කාර්යයක් වූයේ පුස්තකාලයක් පවත්වාගෙන යාම ය. ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ මෙසේ ප‍්‍රකාශ කර ඇත. “මගේ ජීවිතයේ මුල පටන් බලපැවැත්වූ එක් ආශාවක් වූයේ ය. එනම් වන්දනා මානයට පමණක් සීමා නො වූ කියවා ප‍්‍රයෝජනයට ගැනීමට සුදුසු පොත්පත් වලින් හැකිතාක් සම්පූර්ණ පුස්තකාලයක් පිහිටුවීම ය. (ස්වයංලිඛිත ශ‍්‍රී ප‍්‍රඥාශේඛර චරිතාපදානය) 1964 පමණ වන විට ඉහත පුස්තකාලයේ සඟා වර්ග 3309 ක් තිබී ඇත.

ප‍්‍රඥාශේඛර හිමියන් අපවත් වූ අවස්ථාවේ ‘මාවත’ සඟාවට සටහනක් ලියූ ආතර් පී. වීරසේන මෙසේ කියා තිබිණි. “උන්වහන්සේ රැස්කර තැබූ සිංහල පුවත්පත් හා සඟා සම්භාරය ආසියාවේ පමණක් නොව මුළු ලොවම අසාමාන්‍ය පෞද්ගලික පුස්තකාලය ලෙස හඳුනාගෙන ඇත. (මාවත 5 වැනි කලාපය)

නවගමුව ශ‍්‍රී සුගතබිම්බාරාම රජමහා විහාරස්ථානයේ පිහිටි ශ‍්‍රී ප‍්‍රඥාශේඛර පුස්තකාලය 2001 දී සංස්කෘතික අමාත්‍යාංශය විසින් පර්යේෂණ පුස්තකාලයක් බවට පත් කොට සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලදී.

‘සිංහල පුවත්පත් සඟා ඉතිහාසය’ ලිවීමට ප‍්‍රඥාශේඛර හිමියන්ට තුඩු දුන් හේතුව උන්වහන්සේ ගේ ස්වයං ලිඛිත චරිතාපදානයෙහි ලා සඳහන් කර ඇත. එයට අනුව හේතුව මෙසේ ය. වරක් උන්වහන්සේට ජෝන් මර්ඩොක් හා ජේම්ස් නිකල්සන් දේවගැතිවරයා එක් ව ලියන ලද ’PRINTED TRACTS AND BOOK OF SINHALESE’ නම් වූ ග‍්‍රන්ථය කියවන්ට ලැබුණේ ය. මෙරට පුවත්පත් කලාවේ ඉතිහාසය ගැන තොරතුරු එහි අන්තර්ගත ව තිබිණි. ‘සිංහල පුවත්පත් සඟා ඉතිහාසය’ ලිවීමට තමා පොලඹවන ලද්දේ එකී ග‍්‍රන්ථය බව උන්වහන්සේ කියා ඇත.

‘සිංහල පුවත්පත් සඟා ඉතිහාසය’ ප‍්‍රථම කාණ්ඩය (1832 - 1887) 1964 රේ දී එළි දුටුවේ ය. එහි දැක්වෙන ආකාරයට සිංහලෙන් පළ වූ ප‍්‍රථම පුවත්පත වන්නේ ‘ලංකා ලෝකය’ යි. එය 1860 දී ඩබ්ලිව්.ඒ. ඊට්න් විසින් ප‍්‍රසිද්ධ කරන ලද බව එහිලා සඳහන් ව ඇත.

එසේ ම ඉහත ග‍්‍රන්ථයේ දැක්වෙන ආකාරයට පළමු සිංහල සඟාව වන්නේ ‘මාසික තෑග්ග‘ ය. එය 1832 දී ප‍්‍රකාශනයට පත් ව ඇත.

ලංකාවේ මුලින් ම සඟාවක් පළ වී ඇත්තේ 1830 දී බවත්, නමුත් තමාට එය ඒ වනතුරු සොයා ගැනීමට නොහැකි වූ බවත් තමා ළඟ තිබෙන මුල් ම සඟාව 1850 දී පළවූවක් බවත් ප‍්‍රඥාශේඛර හිමියන් 1964 දී අමුණුගොඩ තිලකරත්න ලියූ ‘ගත්කරු හමුව‘ පොතට ප‍්‍රකාශ කර ඇත. උන්වහන්සේට සොයා ගැනීමට නොහැකි වූ සඟාව නම් ‘මාසික තෑග්ග‘ ය. උන්වහන්සේ ළඟ තිබූ සඟාව නම් ‘ලංකා නිධානය’ යි.

‘සිංහල පුවත්පත් සඟා ඉතිහාසය’ මුලින් ම පළ වූයේ ගුණසේන සහ සමාගමේ ප‍්‍රකාශනයක් වූ ‘රිවිදින’ පත‍්‍රයේ ය. පසු ව එය පොත් මාලාවක් බවට පත් වූයේ ය. ‘සිංහල පුවත්පත් සඟා ඉතිහාසය’ කාණ්ඩ 30 කින් වත් ලියා අවසන් කළ නො හැකි බව ප‍්‍රඥාශේඛර හිමියන් කියා සිටියත් ඒ පොත්වලින් පළ වූයේ කාණ්ඩ 9 ක් පමණි. කාණ්ඩ 20 කට පමණ ප‍්‍රමාණවත් කොටසක් ද උන්වහන්සේ අතින් ලියැවී තිබිණි. ඒ ඉතිරි කොටස්වලට කුමක් වී දැයි සොයාගත නො හැකි ය.

ප‍්‍රඥාශේඛර හාමුදුරුවන් ගේ තවත් එක් අභිලාෂයක් තිබිණි. ඒ නම් සිංහල සඟාවල පළ වූ ලිපිවල අකාරාදියක් පළ කිරීම ය. අවාසනාවකට මෙන් එය ඉටු වූයේ නැත.

‘සිංහල පුවත්පත් සඟා ඉතිහාසය’ හැරුණු කොට ප‍්‍රඥාශේඛර හිමියන් තවත් පොත් කීපයක් ද කර්තෘවරයා වූයේ ය. ‘සිංහල බෝධිවංශය’, ‘උපස්ථානය සංග‍්‍රහය’ උන්වහන්සේ ලියූ පොත් අතරින් කීපයකි. ‘බුත්සරණ’ උන්වහන්සේ අතින් සංස්කරණය වී ඇත.

1970 දී ප‍්‍රඥාශේඛර හිමියා ගේ ස්වයං ලිඛිත චරිතාපදානය ප‍්‍රකාශනයට පත් වූයේ ය. එය පළ කිරීමට මූලික වූයේ සෝමසිරි කස්තුරිආරච්චි මහතා ය.


ප‍්‍රඥාශේඛර හිමියන් තනතුරු කීපයක් ම දරා ඇත. කලක් විද්‍යෝදය පිරිවෙන් පරිවේනාධිපති ධූරය දැරූ උන්වහන්සේ පසු ව විද්‍යෝදය විශ්වවිද්‍යාලයයේ පාලි හා ප‍්‍රාකෘත භාෂාංශයේ ප‍්‍රමුඛාචාර්යවරයා වූයේ ය. නවගමුවේ සුගතබිම්බාරාම විහාරයේ විහාරාධිපති වූ උන්වහන්සේ කොළඹ කොටුව ශ‍්‍රී බෝධිරාජ විහාරස්ථානයේ අධිපති ධූරයට ද පත්වූයේ ය. 1958 දී උන්වහන්සේට මහා නායක පදවියක් පිරිනැමිණි.


සුනිල් මිහිඳුකුල

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

කලුකොඳයාවේ ශ්‍රී පඤ්ඤාශේඛර හිමි by sinhalaebooks

අපේ යතිවරු - කහවේ ශ්‍රී රතනසාර හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

කහවේ ශ්‍රී රතනසාර හිමි by sinhalaebooks

අපේ යතිවරු - හීනටියන ශ්‍රී ධම්මාලෝක හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

හීනටියන ශ්‍රී ධම්මාලෝක හිමි by sinhalaebooks

අපේ යතිවරු - හපුතලේ ශ්‍රී ජනානන්ද හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

හපුතලේ ශ්‍රී ජනානන්ද හිමි by sinhalaebooks

අපේ යතිවරු - ගණේගම ශ්‍රී සරණංකර හිමි

මේ ගණේගම සරණංකර හිමියන් ගැන සිළුමිණ පත්‍රයේ පළවූ ලිපියකි.(http://www.silumina.lk/2014/03/16/_art.asp?fn=af14031613&p=1)

“ඔක්කොම හාමුදුරුවරු අද අදහන්නේ
බුද්ධාගම ද ආ හරි පැනයකි පැන්නේ
“ඔව්, නෑ, දෙකින් එකකුයි කිව යුතු වන්නේ
මම ගොළු වුණෙමි කොහොමද පිළිතුරු දෙන්නේ?”


බඹරකොටුවේ සුධර්ම සෙනෙවිරත්නයන් ගේ මේ කවිය වෙල්යාය මැදින් වැටුණු පාර දිගේ වැඩම කරන පොඩි හාමුදුරුවන්ගේ සිතට නැඟිණ. ගමේ ප්‍රභූවරයකු ගේ නිවසේ පැවැති සාංඝික දානයට වැඩිය මොහොතේ සිට උන්වහන්සේ ගේ සිත තුළ නැඟුණේ මහත් කලකිරීම් සහගත සිතිවිලිය. ඒ භික්ෂූන් ගැන ය.
ඒ දාන පොළේ භික්ෂු කණ්ඩායම් තුනක් තුන් පළක සිට දන් වැළඳූහ. එකම වේලාවට, එක ම රස ගුණ ඇති දානය තුන් පළකට වී වැළැඳුවේ සියම්, අමරපුර, රාමඤ්ඤ නිකාය වශයෙන් භික්ෂූන් බෙදී සිටි හෙයිනි.
“එකම බුදු හාමුදුරුවන් ගේ පුත්‍රයෝ, බුද්ධ පුත්‍රයෝ මෙහෙම බෙදෙන එක හරිද?”
පොඩි හාමුදුරුවෝ ළඟ සිටි ලොකු හාමුදුරුවන්ගෙන් ඇසූ හ.
“පොඩි නම නිශ්ශබ්දව ඉන්න. ඕවා ඔහොම තමයි.”
ලොකු හාමුදුරුවන්ගේ උපේක්ෂාව ද පොඩි හාමුදුරුවන්ගේ කළකිරීමට හේතු විය.
“කුලය අනුව හදාගත් නිකාය බුද්ධාගමට විරුද්ධය. බුදු හාමුදුරුවෝ හිටිය නම් පාරිලෙයිය වනයට යනවා. බඹර කොටුවෙ කවියා ගේ කතාව හරියට හරි. අපේ හාමුදුරුවෝ අදහන්නේ බුද්ධාගම නොවෙයි. කුලයට තැන දෙන බ්‍රාහ්මණ ආගම. මේ ඉන්නෙ සිවුරු පොරවාගත් බමුණො...”
උන්වහන්සේට පාර අද්දර පුරන් කුඹුරක තණ කන විශාල හරක් රංචුවක් පෙනිණ. ඒ හරක් සමගියෙන් එකිනෙකාගේ ඇ‍ඟෙහි තැවරෙමින් එහෙත් නිකාය වශයෙන් නොබෙදී තණ බුදිති.
“මේ හරකුන් අතර නිකාය භේදයක් නැත. කුල භේදයක් නැත. මේ හරක් රංචුව දිහා බලල හරි අර සිවුරු පොරවාගත් බමුණන් බුද්ධාගම ඉගෙන ගන්නවා නම් හොඳයි....”
මෙසේ සිතමින් තනිවම ආරාමයට වැඩම කළ ඒ පොඩි හාමුදුරුවෝ පසු කලෙක කුල, ජාති, පන්ති, භේදවලට එරෙහිව කටත්, පෑනත් අභීතව මෙහෙය වූ රටත් ජාතියත් පිළිබඳව මහත් ප්‍රේමයක් ද, බුදු දහම පිළිබඳ මහත් ශ්‍රද්ධාවක් ද නැ‍ඟෙන අයුරින් පොත් රැසක් ලියූ, ජනතාවට නුවණ ලබා දීමේ විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කළ, මහා සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් බවට පත්වූහ. ඒ උතුම් යතිවරයා ගාලු කෝරළයේ ප්‍රධාන සංඝනායක හා බද්දේගම ශ්‍රී රතනසාර පිරිවෙන්පති පදවි හෙබවූ ගනේගම දුටුගැමුණු රජමහා විහාරාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය ගනේගම ශ්‍රී සරණංකර නා හිමිපාණන් ය.

***********
උන්වහන්සේ ගේ ගිහි නම සැමී ය. ඉපදුණේ 1908 ඔක්තෝබර් 23 වැනි දා ගාලු දිසාවේ, බද්දේගම, ගනේගම කෝරළේගොඩ ගෙදර දී ය. අන්ද්‍රියස් කාරියවසම් මහතා සැමී ගේ පියා ය. කරලැයින් විජේතිලක මහත්මිය මව ය. අන්ද්‍රියස් මහතා ගොවියෙකි. සැමී ගනේගම රජයේ පාසලෙන් සිව්වන පන්තිය දක්වා සිංහල මාධ්‍යයෙන් ද, ඉංග්‍රිසි මාධ්‍යයෙන් ද අධ්‍යාපනය ලැබූ දරුවෙකි.
1924 ජුනි 12 වැනි දා සැමී හැඩි දෙමළකන්දේ රත්නගිරි රජ මහා විහාරයේ දී, පූජ්‍ය කහවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ගේ ශිෂ්‍යයකු වශයෙන් පැවිදි වූයේ ය. ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා වූයේ වැලිවිටියේ සුගතපාල, බද්දේගම ගුණානන්ද හිමිවරු ය. එදා සැමී කාරියවසම් ගනේගම සරණංකර සාමණේරයන් වහන්සේ බවට පත්විය.
සත් මසක් ම උන්වහන්සේ මූලික බණ දහම් පොත් කියවමින්, කටපාඩම් කරමින් ගුරු හිමියන් ඇසුරේ ආරාමයේ ම රැඳී සිටිය හ.
1929 දී කිතුලම්පිටිය ආනන්ද පිරිවෙනේ ශිෂ්‍යයකු වූ අප හිමියෝ 1929 දී කොළඹ විද්‍යෝදය පිරිවෙනට ඇතුළු වූහ. සිය ගුරු හිමියන් වූ කහවේ ශ්‍රී රතනසාර නා හිමියෝ විද්‍යෝදය පිරිවෙන්පතිවරයා ය. කහවේ හිමියෝ ද ලේඛකයෙකි. මහ රෑ පහන් දල්වාගෙන සිය ගුරු හිමියන් ලිපි ලියනු සරණංකර පොඩි හාමුදුරුවෝ නිතර දුටහ. “මම ද ලියමි” සාමණේර සිත ලිවීමට දැඩි ව යොමු විය. ‘ගණේගම සරණංකර පොඩි හාමුදුරුවෝ’ නමින් ආගමික, ජාතික, අගයෙන් යුතු ලිපි පුවත්පත්වල පළවන්නට විය.
1932 ජුනි 1 වැනිදා අප හිමියෝ මල්වතු මහා විහාරයෝ උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබූ හ.
1935 දී උන්වහන්සේ ගේ මුල් ම පොත “පොළොන්නරු බුද්ධ ප්‍රතිමා සිද්ධිය” නමින් මුද්‍රණය වී ප්‍රකාශයනට පත්විය.
බද්දේගම පියරතන හිමි, වැලිපිටියේ සෝරත හිමි, කුකුල්නාපේ දේවරක්ඛිත හිමි, කළුකොඳයාවේ පඤ්ඤාශේඛර හිමි, පරවාහැර වජිරඥාන හිමි, පළන්නොරුව විමලධර්ම හිමි ඇතුළු මහ පඬිවරුන් රැසකගේ ඇසුර ලැබීමට ධර්ම ශාස්ත්‍ර භාෂා ඥානය ලැබීමට සරණංකර හිමියන්ට පින ලැබිණ. විද්‍යෝදය පිරිවෙනේ අවසාන විභාගය සමත් වීමෙන් පසු ඉංග්‍රිසි අධ්‍යාපනය සඳහා උන්වහන්සේ කොළඹ පෙම්ඩ්‍රොක් ඇකඩමියට ඇතුළු වූහ.
1931 මාර්තු 01 වැනි දා උන්වහන්සේට අමතක නොවන දිනයක් විය. එදා අනගාරික ධර්මපාලතුමා මහා ‍බෝධි මන්දිරයේ සිට විද්‍යෝදය පිරිවෙනේ සුමංගල ශාලාවට රෝද පුටුවකින් පැමිණියේ ය. පුටුව තල්ලු කරගෙන ආවේ පසුකලෙක මහා ලේඛකයකු වූ කේ.බී. සුගතදාස මහතා ය. එතුමා එදා විද්‍යෝදය ශිෂ්‍ය පිරිස ඇමතුවේ ය. එය ලංකාවේදී එතුමා කළ අවසන් දෙසුමය.
ඒ දේශනය අපේ සරණංකර හිමියන්ගේ සිත් තුළට කිඳා බැස්සේ ය. උස් හඬින් නැඟුණ ද එහි වූයේ දුක් මුසු කළකිරීම් ස්වභාවයකි. ‘ධර්මපාලතුමනි, මම මගේ ජීවිතය, බුදු දහමත්, සිංහල ජාතියත්, මේ මවුබිමත් වෙනුවෙන් කැප කරමි.” අදිටන ද සිත තුළට කිඳා බසිනු හිමියනට දැනිණ. ඊට පසුදා ම ධර්මපාල තුමා මවුබිම හැර ගියේය. යළි පැමිණියේ නැත.

*********
1943 දෙසැම්බර් 16 වැනිදා ගනේගම සරණංකර හිමියෝ ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් සමත් වූහ. ඉන්පසු කොළඹ යුනිවර්සිටි කොලීජියට ඇතුළු ව පාලි, සංස්කෘත, සිංහල විෂයත් ඉංග්‍රිසි මාධ්‍යයෙන් හැදෑරූ හ. දෙවර්ෂයකට පසු උන්වහන්සේ එය අත් හළහ.
1951 දී අප හිමියෝ භාරතයේ ශාන්ති නිකේතනයේ ශිෂ්‍යයෙක් වූහ.
එහි දී උන්වහන්සේ ගේ ප්‍රගතිශීලී අදහස් වඩාත් මුවහත් විය. තාගෝර්තුමා විසින් පාලනය කැරුණු ශාන්ති නිකේතනය නිදහස්, දැහැමි සිතිවිලිවල උල්පතෙකි. ඒ සිතිවිලි ලිපිවලට නැඟුණේ ලංකාවේ සිංහල පුවත්පත්වල පළවිය. මහා පුවත්පත් කලාවේදී පියසේන නිශ්ශංක සූරීහු අප හිමියන්ගේ රචනා ශෛලියේ අගය දැන දිනමිණ - සිළුමිණ පුවත්පත්වලට ලියන්නැයි ඇරැයුම් කළහ. ඉන්පසු සතිපතා ‘දඹදිව විත්ති’ වශයෙන් ලිපි පෙළක් ලිවීම ඇරැඹිණ. ප්‍රියරන්ජන් නමින් තවත් ලිපි පෙළක් ඇරැඹූහ.
මේ ලිපි රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කෙළේය. ඒවා කියැවූ දුස්සීලයෝ කුපිත වූහ. ‍
1954 දී බුරුමයේ පැවැති සයවන ධර්ම සංඝායනාවට ද අප හිමියෝ සහභාගි වූහ.
ශාන්ති නිකේතනයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ සරණංකර හිමියෝ 1956 නොවැම්බර් 01 වැනිදා බද්දේගම ගනේගම ශ්‍රී රතනසාර විදුහල් ගුරුවරයකු ලෙස සේවය ඇරැඹූහ.
ගනේගම නා හිමියන්ගේ ජංගම පුස්තකාලය
1960 සැප්තැම්බර් 01 වැනි දා සිට උන්වහන්සේ ගනේගම රතනසාර පිරිවෙනේ පිරිවෙන්පති වශයෙන් පත්වූහ. 1959 දී උන්වහන්සේට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය තනතුරක් ලැබිණ.
උන්වහන්සේ 1966 මාර්තු 13 වැනිදා ලංකාවේ ප්‍රථම ජංගම පුස්තකාලය බිහි කළහ. ගොන් කරත්තයක රාක්ක ගසා, රාක්කවල පොත් පුරවා ඈත ගම්වලට මේ ජංගම පුස්තකාලය ගෙන ගිය අප හිමියෝ ගැමි ජනතාවට පොත් සමඟ ගෙවන ජීවිතයක් හඳුන්වා දුන්හ. වසර දහයක් ම මේ ජංගම පුස්තකාල සේවාව පැවතිණ.
වියපත් ව, අසරණව වැඩ වෙසෙන භික්ෂුන් වහන්සේලාට අප හිමියනගේ දෑස යොමු විය. සිය අරමට අයත් කීඹි ඇළ විජේවර්ධනාරාමය වයෝවෘද්ධ භික්ෂු විවේකාරාමයක් වශයෙන් ගොඩ නැඟුණේ අප හිමියන්ගේ මහා කරුණාව නිසා ය. ඒ සඳහා උන්වහන්සේ ගේ පාසල් මිතුරකු වූ ඇල්බට් එදිරිසිංහ මහතාගේ අනුග්‍රහය ද ලැබිණ.
අප හිමියන්ගේ ජාතික සහ ආගමික සේවා ඇගයූ මල්වතු මහා සභාව විසින් උන්වහන්සේට 1977 දී ගාලු කෝරළේ ප්‍රධාන සංඝනායක පදවිය පුදනු ලැබිණ.

**********
යාපනයේ කුලහීනයන් සහ කුලීනයන් අතර ගැටුමක් ඇති විය. කුලහීන හෙවත් හරිජනයන් ට උසස් කුලවල අයගෙන් සිදුවන හිංසා පීඩා ගැන අප හිමියනට අසන්නට ලැබිණ. සිය කලණ මිතුරු අකුරැස්සේ අමරවංශ නාහිමියන් සමඟ අප හිමියෝ යාපනයට වැඩියහ.
පෙඩරල් පක්ෂය සහ ද්‍රවිඩ සංගමය උසස් කුලවල අයගේ පක්ෂ දෙකකි. මේ පක්ෂවල හා නායකයන් කුලහීනයන් පෙළූහ. ඔවුන්ට සැලකුවේ මිනිසුන් ලෙස නොවේ. අප හිමිවරු කුලහීනයන්ට දහම් දෙසූ හ. කුලීනයන්ට ද දහම් දෙසූ හ. කුලමානයෙන් මත් වී සිටි සිය ආගමෙන් ද ඉඩ දෙන බව ඇදහු කුලීනයෝ බුදු බණට කන් වසා ගත් ය. බුදු රජාණන් වහන්සේ ගේ සමානාත්මතාවය කුලවාදයට එරෙහි වන බව කුලහීනයන්ට වැටහිණි. ඔවුන්ට ගැළපෙන්නේ බුදු දහමය. අපි බෞද්ධයෝ වෙමු. යන හැඟීම් කුලහීනයන්ගෙන් පළ විය.
ආපසු බද්දේගමට වඩින විට අප හිමියන් සමඟ කුලහීන දෙමළ දරුවෝ සියයක් පැමිණිය හ. ඔවුන් බද්දේගම අවට පන්සල් කීපයක නතර කළ අප හිමියෝ ඔවුන්ට බුදු දහම ද, සිංහල බස ද ඉගැන්වූහ. ආහාර, වස්ත්‍ර, නවාතැන් සැපයූ හ.
පසුකලෙක, වසර 15 කට පමණ පසුව අප හිමියන් ගේ ශිෂ්‍ය බද්දේගම සමිත හිමි ප්‍රංශයෙ සිටිය දී එක් දෙමළ ඉංජිනේරුවෙක් උන්වහන්සේ සොයා පැමිණියේය.
“බද්දේගම දුටුගැමුණු විහාරයේ හාමුදුරුනමක් මෙහේ සිටින බව මට අසන්නට ලැබුණා. අවුරුදු 15 කට පෙර මා සිටියෙ ඒ විහාරයේ. ගනේගම සරණංකර හාමුදුරුවන්ගේ ශිෂ්‍යයකු වශයෙන් අපි ඒ පන්සලේ නතර වී බුදු දහම - සිංහල සහ පාසල් විෂයන් ඉගෙන ගත්තා. මා කුලහීන දුප්පත් ළමයෙක්. අපි යාපනේ දුක් වින්ඳා. කුලීන අය අපට ඉගෙනගන්න ඉඩ දුන්නේ නැහැ. ගනේගම හාමුදුරුවෝ අපි සිය දෙනකුට බද්දේගම දි උගන්නලා ඇස් පෑදුවා. මා දැන් හොඳ පඩියක් ගන්න ඉංජිනේරුවෙක්. මා වගේ දියුණු වූ අය හුඟ දෙනෙක් ඉන්නවා. ගනේගම හාමුදුරුවො නිසා අපි බුදු හාමුදුරුවොත් හඳුනා ගත්තා. මගේ නම යෝග රත්නම්...”
ඔහු කීවේය. ඔහු ගේ ඇස්වල නළියන කඳුළු සමිත හිමියනට පෙනිණ. යුද්ධය හමාර වූ පසු ලංකාවට ආ ඔහු බද්දේගමට පැමිණ ‍ගනේගම හිමියන්ගේ පිළිරුවට නමස්කාර කොට හඬා වැළපී ගියේ ය.

***********
උන්වහන්සේ ලේඛකයකු වශයෙන්, ගත්කරුවකු වශයෙන් ඉහළ ම නමක් දිනා ගත්තේ ය. පාඨකයෝ අප හිමියන්ගේ පොත් මහත් සතුටින් පිළිගත් හ.
1932 දී උන්වහන්සේ උපසම්පදාව සඳහා ඉදිරිපත් කළ ප්‍රබන්ධය මරදානේ මහාබෝධි යන්ත්‍රාලයෙන් මුද්‍රණය කැරිණ. එය අප හිමියන්ගේ මුල් මැ කෘතිය විය. 1960 දී ‘සිංහල වාක්‍ය රචනා’ 1961 දී ‘සිංහල රචනා රත්නය’ පළ කැරිණ.

1963 දී ‘බුද්ධ ඝෝෂ’ කෘතිය පළ කැරිණ. එය අප හිමියන් බී.සී. ලෝ ලියූ ඉංග්‍රිසි කෘතියක් සිංහලට නැඟීමකි. “බෞද්ධ මහාධිරාජ අශෝක හා සෙල්ලිපි” සහ “ප්‍රියරන්ජන්ගේ ජනප්‍රිය රචනා” උන්වහන්සේගේ තවත් කෘති දෙකකි.
1973 පළ කළ “බුදු හාමුදුරුවෝ” කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමි විය. එය මෑත යුගයේ පළ වූ මහා ශ්‍රද්ධා කාව්‍යයක් බඳු විය. “ආනන්ද ‍හාමුදුරුවෝ, ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල, සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨ වීරයා (දුටුගැමුණු) යසෝදරාව, බුද්ධ මාර්ගය, රාජා භවතු ධම්මිකෝ, උන්වහන්සේගෙන් ජාතියට පිදුණු තවත් අගනා පොත් කීපයකි.
උන්වහන්සේ ලේඛකයකු මෙන් ම අභීත දේශකයෙක් ද විය. කොටි සංවිධානය 1983 එක් දිනෙක කළ මහා සංහාරයකට සතියකින් පසු රත්මලානේ ආරාමයක රැස්වීමක් පැවැත්විණ. මුලසුනේ සිටියේ අප හිමියෝය. ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතා ද වේදිකාවේ සිටියේ ය.
උන්වහන්සේ මෙසේ කී හ.
“මෙන්න ඉන්නවා අප ආරක්ෂා කරන ආරක්ෂක ඇමැති. නමුත් දැන් අපේ ජාතියට ආරක්ෂාවක් නැහැ. කොන්ද කෙළින් තීරණ ගන්න මේ ආරක්ෂක ඇමතිවරුන්ට බෑ....”
හමුදා නිලධාරින් රැසක් සමඟ පැමිණ සිටි ඇමැතිවරයා අමතා මෙසේ අප හිමියන් ප්‍රකාශ කරන විට සභාව ගල්ගැසී ගියේය.
ඇමැතිවරයා පිළිතුරු දුනි.
“ඔබ වහන්සේ කතා කළේ හදවතින්. නමුත් අපට හදවතින් කතා කරන්න බැහැ. අපි එක් එක් බලවේගවලින් පාලනය වෙනවා.”
උන්වහන්සේ පැවිදි වූයේ බද්දේගම හැඩිදෙමළකන්ද රජ මහා විහාරයේ ය. එහෙත් විහාරාධිපති වන විට හැඩිදෙමළකන්ද ගිලී ගොස් දුටුගැමුණු නම මතුවිය. එය දුටුගැමුණු රජමහා විහාරය නම් විය. විහාරය පිහිටි කඳු මුදුන තෙක් විහිදෙන පියගැටපෙළට සමාන්තරව දශමහා යෝධයන්ගේ ප්‍රතිමා ද ඉහළ විහාරය අසල දුටුගැමුණු රජතුමා ගේ සහ විහාර මහා දේවියගේ ප්‍රතිමා ද ඉදිකරවනු ලැබිණ. දුටුගැමුණු නම උන්වහන්සේ යොදා ගන්නේ නිකම් මැ නොවේ. උන්වහන්සේ මෙසේ කියති. “වි‍ෙද්ශයක සිට තම රටට අවුත් තමන් සමඟ මුහුණට මුහුණ ලා සටන් කොට තමන් අතින් ම මැරුම් කෑ තම සතුරා ගේ සිරුර ගෞරවාදරයෙන් ආදාහනය කරවා සොහොන් ගැබක් බන්දවා එතනින් යන එන හැම කෙනකුට ම එයට ගෞරවාචාර කොට යා යුතුයයි රාජාඥාවක් නිකුත් කිරීමෙන් දැක්වූ අරුම පුදුම අති උතුම් අති ශ්‍රේෂ්ඨ මිනිස් ගුණය නිසා ය.”

- සිංහල ජාතියෙ ශ්‍රේෂ්ඨතම වීරවරයා - 1983

************
සසුනට, රටට, දැයට කළ වැඩට මුළු දවසම වැය වුවද උන්වහන්සේ සිය පැවිදි ශිෂ්‍යයන් හසුරවා ගැනීමට ද කෙසේ හෝ කාලය ඉතිරි කැර ගත්තේය. වැලිවිටියේ සුමනහිමි, වැලිවිටියේ චන්දිම හිමි, බානගල ගුණරතන හිමි, බද්දේගම සමිත හිමි ඒ ශිෂ්‍යයන්ගේ කීප නමකි. ගුණ නුවණ යුතු, කීර්තිමත්, රටට දැයට වැඩදායක වූ ශිෂ්‍යයන් වශයෙන් මේ හිමිවරුන් තැනූ අප හිමි ආදරණීය පියෙක් විය.

************
ඒ 1988 - 89 භීෂණ සමයයි. උගත් තරුණයන්ට, තරුණ භික්ෂූන්ට ජීවිතය තහනම් කැරුණු සමයයි.
බද්දේගම සමිත හිමි උන්වහන්සේ ගේ කුටියේ සැඟවී සිටියහ. රෑ මැදියම ඒ කුටියේ කවුළු පියන්පත ගැටෙන හඬින් සමිත හිමියෝ පිබිදුණ හ. කවුළුව ළඟට නොගොස් කාමරයෙන් පිටතට පැමිණ ඒ කුමන හඬක් දැයි සමිත හිමියෝ පරීක්ෂා කළ හ.
අඳනකඩ පිටින් ගුරු හිමියෝ බිත්තිය අද්දරට වී සිටිති. උන්වහන්සේ සිය ශිෂ්‍යයාගේ අතින් අල්ලාගෙන ඇතුළට පැමිණ “සමිත, ඇයි ජනෙල් වහන්නෙ නැතිව නිදාගන්නේ. තේරෙන්නේ නැද්ද? මේ දවස් භයානකයි. විශේෂයෙන් ම සමිතට හොඳ නැහැ. ආණ්ඩුව සමිත වගේ අයට ජීවත්වෙන්න දෙන්නෙ නැහැ. පරෙස්සම් වෙන්න..... යං මගේ කාමරයට...” කීහ.

ගුරු හිමියන් ම පැදුරක් ගෙන බිම එළා කොට්ටයක් දමා
“දැන් මෙතන නිදාගන්න” යැයි කී හ.
සමිත හිමියෝ ගුරු බසට අවනතව පැදුරේ වැතිරුණාහ. උන්වහන්සේට නින්ද ගියේ නැත.
ගුරු හිමියෝ ද අවදියෙනි. විටෙක දිග සුසුමක් පිටවෙයි. සිය ශිෂ්‍යයා රැක ගැනීමට උන්වහන්සේ නොනිදා සිටියි.
ගනේගම හිමියන් නිසා ඒ ආරාමයට ආරක්ෂක හමුදා කඩා වැදුණේ නැත. උන්වහන්සේගේ ශිෂ්‍යයාට අතවරයක් සිදුවුවහොත් මුළු බද්දේගම ම කැරලි ගසන බව රජය දැන සිටියේ ය.

************
සමිත හිමියෝ නින්දේ දී ගොරවති.
නා හිමියෝ ළඟට එති.
“සමිත, ඔහොම ගොරවන්න එපා. ඔය සද්දෙ ඇල්පිටියෙ හමුදා කඳුවුරටත් ඇහෙනව ඇති. කොට්ටව කැළේ නාඳුනන තුවක්කු කරුවන්ටත් ඇහෙනව ඇත.”
උන්වහන්සේ සමිත හිමිගේ කොට්ටය සකස් කරමින් කියයි. රට සන්සුන්වන තුරු ම සමිත හිමි සැතපුණේ ගුරු හිමියන්ගේ කුටියේය.
“ටිකක් දඩබ්බර තමයි. ඒ වුණාට මේ උන්වහන්සේ රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක්...”
සිය ශිෂ්‍යයා ආරක්ෂා කර ගන්නා මෙන් ප්‍රදේශයේ හිතවත් දායකයන්ට උන්වහන්සේ කීහ.

***************
අප හිමියන්ගේ වෙහෙස ඇගයූ ජනතාව උන්වහන්සේට කොළඹ ආනන්ද විදුහලේ දී ‘ගණේගම සරණංකර ප්‍රණාම උලෙළ පැවැත්වූහ. නා හිමි නමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ශිෂ්‍යත්ව අරමුදලක් පිහිටුවිය. ‘ගනේගම ශ්‍රී සරණංකර ප්‍රසාදිනි’ සම්මාන ග්‍රන්ථය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතින් එහිදි අප හිමියන්ට පිළිගැන්විණ.

*************
අප හිමියනට අසූ දෙහැවිරිදි විය එළඹිණ. සිරුර දුර්වල විය. ලිවීමේ වේගය ද අඩු විය.
“සසුන් කෙත හෙබ වූ අපේ පැරණි පොඩි හාමුදුරුවරු” යන කෘතිය ලිවීම ඇරැඹිණ. ඇඟිලි තුඩු වෙවුළන බව දැනිණ. එහෙත් ලිවීම හෙමින් හෙමින් හෝ සිදුවිය.
“ඇස් ටිකක් කහපාට වෙලා....” ශිෂ්‍යයෙක් ගුරු හිමියන්ට කීය.
“ඒ උෂ්ණෙට... මුත්‍රත් කහපාටයි... ඒත් උෂ්ණෙට” හිමියෝ කෙටි පිළිතුක් දී දිගටම ලියූ හ. කලක් ගෙවිණ.
“හාමුදුරුවනේ ඔබවහන්සේට ලොකු ලෙඩක් තියෙනවා. ප්‍රතිකාර ගන්න යමු.” සමිත හිමියෝ කීහ.
“නැහැ. මම සනීපෙන්.”
අකුරු විරූපී විය. එහෙත් දිගට ම ලිවීම සිදුවිය.
1989 දෙසැම්බර් 29 වැනි දා අලුයම ඒ අතින් පෑන ගිලිහිණ. දෑස් පියවිණ. ලොවෙන් සමුගැනීමේ මොහොත එළඹිණ.
ගාලු කෝරළේ ප්‍රධාන සංඝනායක, දුටුගැමුණු රජමහා විහාරාධිපති ගනේගම ශ්‍රී සරණංකර සංඝ පීතෘවරයාණන් වහන්සේ එදා සසුනට, දෙසට, බසට, රැසට, හිත ඇත්තන් හඬවමින් අපවත් වී වදාළහ.

දෙනගම සිරිවර්ධන

පහතින් පළ වන්නේ පූජිත ජීවිත හී සටහන් වූ ගණේගම සිරි සරණංකර චරිතයයි.
උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

ගණේගම ශ්‍රී සරණංකර හිමි by sinhalaebooks

අපේ යතිවරු - බඹරැන්දේ සිරි සීවලී හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

බඹරැන්දේ සිරි සීවලී හිමි by sinhalaebooks

අපේ යතිවරු - බැදිගම ශ්‍රී රතනපාල හිමි

මේ බැදිගම හිමියන්ගේ ගෝල හිමි නම වූ පරවාහැර සිරි රේවත හිමියන් ගැන කිරම විමලජෝති හිමියන්ගේ ආවර්ජනයෙන් ලියැවුණු ලිපියකින් ගත් කොටස් කිහිපයක්.(මුල් ලිපිය http://www.silumina.lk/2013/12/15/_art.asp?fn=af13121512&p=1)

1910 එක් දිනෙක අලුයම මාතර මහා මන්තින්ද පිරිවෙනේ සියලු භික්ෂුන් වහන්සේලා එක් පොල් ගසක් යටට රැස් ව ගස මුදුනේ පෙනෙන කහ සිවුරක් දෙස බලා සිටියහ.

“රේවත හාමුදුරුවනේ බිමට බහින්න”

පොඩි හාමුදුරුවරු කෑ ගැසූහ.

ගස මුදුනෙන් හඬක් නො නැඟිණ. කහ සිවුර සුළඟට හසුව සෙලවෙනු පමණක් පෙනිණ.

මහා මන්තින්ද පිරිවෙන්පති වාදීභසිංහ අතිපූජ්‍ය බැදිගම ධර්මකීර්ති ශ්‍රී රතනපාලාභිධාන දක්ෂිණ ලංකාවෙහි ප්‍රධාන සංඝනායක මාහිමියෝ ද එතැනට වැඩියහ.

උන් වහන්සේ ගස මුදුනේ ලෙළදෙන කහ සිවුර දෙස මොහොතක් බලා සිටියහ.

“රේවත, බයවෙන්න එපා... මම දඬුවම් දෙන්නේ නැහැ... බිමට බහින්න”

සිංහ හඬක් මුදු මෙළෙක් ව නැ‍ඟෙනු ඇසිණ. ඒ හඬ පොල් ගසේ කරටියට ද ඇසිණ.

ගස මුදුනේ සිවුර එහා මෙහා විය. එයින් අතක්, හිසක් මතු විය. පොල් කඳ දිගේ හෙමින් හෙමින් පහළට ලිස්සා එන කහ රුව පහළ ඇස්වල බැඳිණ.

ඒ ගසෙන් බැස්සේ පසු කලෙක කෝට්ටේ ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පදවියෙන් පිදුණු මහා විශ්වකර්මයකු ලෙස ලෝ පතළ වූ පරවාහැර රේවත හිමියෝ ය.

උන්වහන්සේ සිය ගුරු දේව බැදියම නාහිමියන්ගේ පාමුල වැඳ වැටුණහ.

“එන්න මාත්තෙක්ක”

නා හිමියෝ රේවත හිමි සමඟ සිය කුටියට වැඩියහ.

අසුනෙක හිඳගත් උන්වහන්සේ රේවත හිමියන් ගේ දෑසට සිය දෑස යොමු කළහ. ඒ දෑස දෙස කෙළින් ම බලා සිටීමට රේවත හිමියන්ට අපහසු විය. ඒ වෙනුවට රේවත හිමියන්ගේ දෑස යොමුව පැවතුණේ බිත්තියේ රැඳි අනගාරික ධර්මපාල තුමාගේ විශාල ඡායාරූපයට ය.

ධර්මපාල තුමාගේ ගෞරවයට පාත්‍ර වූයේ ලංකාවේ භික්ෂුන් කීප නමක් පමණි. බැදිගම හිමි එයින් එක් නමකි.

ධර්මපාල තුමා නා හිමි හමුවීමට දින කීපයක් මන්තින්ද පිරිවෙනට පැමිණියේය. ඒ තේජාන්විත මහා පුරුෂයාට ළං නොවී ඈතට වී බලා සිටි ඒ අවස්ථා කීපය රේවත හිමිට සිහි විය.

“ලංකාවේ භික්ෂුන් සිංහල මිනිසුන්ට බණ කියන්නෙ සංස්කෘත වචන ගොඩක් එක්ක. ඔබ වහන්සේ බණ දෙසන්නේ ගමට හුරු පුරුදු සරල සිංහල භාෂාවෙන්. කලකට පසු මා අද ඔබ වහන්සේගෙන් හොඳ බණක් ඇසුවා. ඔය විධියට බණ දෙසුවොත් මේ රට ඉක්මනින්ම ධර්මද්වීපයක් වේවි.”

ධර්මපාල තුමා දිනක් නා හිමියන්ට කීවේ ය.

ඒ මහා පුරුෂයාගෙන් ද පැසසුම් ලැබු අපේ ලොකු හාමුදුරුවෝ...


ඒ 1915 වර්ෂයය. මුස්ලිම්, සිංහල කෝලාහාලයක් පිළිබඳව අසන්නට ලැබිණ. යුද්ධ නීතිය පනවා රටේ ජන නායකයන් සිරගත කළ පුවත්, ඇතැම් නායකයන් ඝාතනය කළ පුවත් පැතිරිණ. මාතර ප්‍රදේශයට ද මේ කෝලාහාලය ළංවන ලකුණු පෙනිණ. මාතර මුස්ලිම් ජනතාවට සිංහල ගම්මානවලින් පහර වැදෙනු ඇතියි නිලධාරීහු සැක කළහ. මාතර දිසාපතිවරයා බැදිගම නායක හාමුදුරුවන් හමුවී මේ තත්ත්වයෙන් මාතර බේරා දෙන මෙන් ඉල්ලා සිටියේය.

බැදිගම හිමියෝ ජනතාව රැස් කොට ධර්ම දේශනා පැවැත්වූහ.

“කිසිම මුස්ලිම් කෙනකුට හිරිහැර කරන්න එපා. ඒක බුද්ධධර්මයට පිටුපෑමක්...” උන්වහන්සේ කීහ.

මේ නිසා මර බියේ සිටි මුස්ලිම් ජනතාවට අභය ලැබිණ.

වෙහෙරහේන පන්සල ද මුස්ලිම් මිනිසුන්ගේ අභය භූමියක් විය. එහි සැඟවී සිටි මිනිසුන්ට රේවත හිමියෝ, බැදිගම හිමියන්ගේ ක්‍රියා කලාපය විස්තර කළේ “බුදු රජාණන් වහන්සේ සිටියානම් කරන්නේත් ඔය වැඩේමයි” කියමිනි.

1917 දෙසැම්බර් 11 වැනි දා මාතර මහා මන්තින්ද පිරිවෙන්පති වාදීභසිංහ බැදිගම ධර්මකීර්ති ශ්‍රී රතනපාලාභිධාන දක්ෂිණ ලංකා ප්‍රධාන සංඝනායක මාහිමිපාණෝ අපවත් වී වදාළහ. බුදු සසුනට එරෙහිව නැගුණු තර්ජන, දුර්මත දුරු කොට බුදු සසුන රැක ගැනීමට කැප වූ මහා පුරුෂයකු, උතුම් සංඝ පීතෘනවරයකු සසුනට, රටට, අහිමි විය. රේවත හිමියෝ මේ පුවත ඇසු සැණින් මහා මන්තින්දයට වැඩියහ. ආදාහන කටයුතු සංවිධානයට එක්වූහ. දකුණු ලක කිසි කලෙක නුදුටු මහා ජන ගංගාවක් එදා මාතරට ගැලුවේය.

1915 දී මුස්ලිම් ජනතාව රැක ගැනීමට මුල් වූ නාහිමියන්ට කෘතගුණ සලකන්න මුස්ලිම්වරු දහස් ගණනක් ආදාහන උලෙළට එක් වූහ. ඔවුන්ගේ නිවෙස්වල ද සුදු කොඩි නංවා තිබිණ.


බැදිගම රතනපාල හිමියන්ගේ ජීවන චරිතය උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

බැදිගම ශ්‍රී රතනපාල හිමි by sinhalaebooks

අපේ යතිවරු - බද්දේගම ශ්‍රී විමලවංශ හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

බද්දේගම ශ්‍රී විමලවංශ හිමි by sinhalaebooks

අපේ යතිවරු - බද්දේගම ශ්‍රී පියරතන හිමි

උපුටා ගැනීම - පූජිත ජීවිත

බද්දේගම ශ්‍රී පියරතන හිමි by sinhalaebooks