Sunday, October 12, 2014

අපේ යතිවරු - ගණේගම ශ්‍රී සරණංකර හිමි

මේ ගණේගම සරණංකර හිමියන් ගැන සිළුමිණ පත්‍රයේ පළවූ ලිපියකි.(http://www.silumina.lk/2014/03/16/_art.asp?fn=af14031613&p=1)

“ඔක්කොම හාමුදුරුවරු අද අදහන්නේ
බුද්ධාගම ද ආ හරි පැනයකි පැන්නේ
“ඔව්, නෑ, දෙකින් එකකුයි කිව යුතු වන්නේ
මම ගොළු වුණෙමි කොහොමද පිළිතුරු දෙන්නේ?”


බඹරකොටුවේ සුධර්ම සෙනෙවිරත්නයන් ගේ මේ කවිය වෙල්යාය මැදින් වැටුණු පාර දිගේ වැඩම කරන පොඩි හාමුදුරුවන්ගේ සිතට නැඟිණ. ගමේ ප්‍රභූවරයකු ගේ නිවසේ පැවැති සාංඝික දානයට වැඩිය මොහොතේ සිට උන්වහන්සේ ගේ සිත තුළ නැඟුණේ මහත් කලකිරීම් සහගත සිතිවිලිය. ඒ භික්ෂූන් ගැන ය.
ඒ දාන පොළේ භික්ෂු කණ්ඩායම් තුනක් තුන් පළක සිට දන් වැළඳූහ. එකම වේලාවට, එක ම රස ගුණ ඇති දානය තුන් පළකට වී වැළැඳුවේ සියම්, අමරපුර, රාමඤ්ඤ නිකාය වශයෙන් භික්ෂූන් බෙදී සිටි හෙයිනි.
“එකම බුදු හාමුදුරුවන් ගේ පුත්‍රයෝ, බුද්ධ පුත්‍රයෝ මෙහෙම බෙදෙන එක හරිද?”
පොඩි හාමුදුරුවෝ ළඟ සිටි ලොකු හාමුදුරුවන්ගෙන් ඇසූ හ.
“පොඩි නම නිශ්ශබ්දව ඉන්න. ඕවා ඔහොම තමයි.”
ලොකු හාමුදුරුවන්ගේ උපේක්ෂාව ද පොඩි හාමුදුරුවන්ගේ කළකිරීමට හේතු විය.
“කුලය අනුව හදාගත් නිකාය බුද්ධාගමට විරුද්ධය. බුදු හාමුදුරුවෝ හිටිය නම් පාරිලෙයිය වනයට යනවා. බඹර කොටුවෙ කවියා ගේ කතාව හරියට හරි. අපේ හාමුදුරුවෝ අදහන්නේ බුද්ධාගම නොවෙයි. කුලයට තැන දෙන බ්‍රාහ්මණ ආගම. මේ ඉන්නෙ සිවුරු පොරවාගත් බමුණො...”
උන්වහන්සේට පාර අද්දර පුරන් කුඹුරක තණ කන විශාල හරක් රංචුවක් පෙනිණ. ඒ හරක් සමගියෙන් එකිනෙකාගේ ඇ‍ඟෙහි තැවරෙමින් එහෙත් නිකාය වශයෙන් නොබෙදී තණ බුදිති.
“මේ හරකුන් අතර නිකාය භේදයක් නැත. කුල භේදයක් නැත. මේ හරක් රංචුව දිහා බලල හරි අර සිවුරු පොරවාගත් බමුණන් බුද්ධාගම ඉගෙන ගන්නවා නම් හොඳයි....”
මෙසේ සිතමින් තනිවම ආරාමයට වැඩම කළ ඒ පොඩි හාමුදුරුවෝ පසු කලෙක කුල, ජාති, පන්ති, භේදවලට එරෙහිව කටත්, පෑනත් අභීතව මෙහෙය වූ රටත් ජාතියත් පිළිබඳව මහත් ප්‍රේමයක් ද, බුදු දහම පිළිබඳ මහත් ශ්‍රද්ධාවක් ද නැ‍ඟෙන අයුරින් පොත් රැසක් ලියූ, ජනතාවට නුවණ ලබා දීමේ විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කළ, මහා සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් බවට පත්වූහ. ඒ උතුම් යතිවරයා ගාලු කෝරළයේ ප්‍රධාන සංඝනායක හා බද්දේගම ශ්‍රී රතනසාර පිරිවෙන්පති පදවි හෙබවූ ගනේගම දුටුගැමුණු රජමහා විහාරාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය ගනේගම ශ්‍රී සරණංකර නා හිමිපාණන් ය.

***********
උන්වහන්සේ ගේ ගිහි නම සැමී ය. ඉපදුණේ 1908 ඔක්තෝබර් 23 වැනි දා ගාලු දිසාවේ, බද්දේගම, ගනේගම කෝරළේගොඩ ගෙදර දී ය. අන්ද්‍රියස් කාරියවසම් මහතා සැමී ගේ පියා ය. කරලැයින් විජේතිලක මහත්මිය මව ය. අන්ද්‍රියස් මහතා ගොවියෙකි. සැමී ගනේගම රජයේ පාසලෙන් සිව්වන පන්තිය දක්වා සිංහල මාධ්‍යයෙන් ද, ඉංග්‍රිසි මාධ්‍යයෙන් ද අධ්‍යාපනය ලැබූ දරුවෙකි.
1924 ජුනි 12 වැනි දා සැමී හැඩි දෙමළකන්දේ රත්නගිරි රජ මහා විහාරයේ දී, පූජ්‍ය කහවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ගේ ශිෂ්‍යයකු වශයෙන් පැවිදි වූයේ ය. ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා වූයේ වැලිවිටියේ සුගතපාල, බද්දේගම ගුණානන්ද හිමිවරු ය. එදා සැමී කාරියවසම් ගනේගම සරණංකර සාමණේරයන් වහන්සේ බවට පත්විය.
සත් මසක් ම උන්වහන්සේ මූලික බණ දහම් පොත් කියවමින්, කටපාඩම් කරමින් ගුරු හිමියන් ඇසුරේ ආරාමයේ ම රැඳී සිටිය හ.
1929 දී කිතුලම්පිටිය ආනන්ද පිරිවෙනේ ශිෂ්‍යයකු වූ අප හිමියෝ 1929 දී කොළඹ විද්‍යෝදය පිරිවෙනට ඇතුළු වූහ. සිය ගුරු හිමියන් වූ කහවේ ශ්‍රී රතනසාර නා හිමියෝ විද්‍යෝදය පිරිවෙන්පතිවරයා ය. කහවේ හිමියෝ ද ලේඛකයෙකි. මහ රෑ පහන් දල්වාගෙන සිය ගුරු හිමියන් ලිපි ලියනු සරණංකර පොඩි හාමුදුරුවෝ නිතර දුටහ. “මම ද ලියමි” සාමණේර සිත ලිවීමට දැඩි ව යොමු විය. ‘ගණේගම සරණංකර පොඩි හාමුදුරුවෝ’ නමින් ආගමික, ජාතික, අගයෙන් යුතු ලිපි පුවත්පත්වල පළවන්නට විය.
1932 ජුනි 1 වැනිදා අප හිමියෝ මල්වතු මහා විහාරයෝ උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබූ හ.
1935 දී උන්වහන්සේ ගේ මුල් ම පොත “පොළොන්නරු බුද්ධ ප්‍රතිමා සිද්ධිය” නමින් මුද්‍රණය වී ප්‍රකාශයනට පත්විය.
බද්දේගම පියරතන හිමි, වැලිපිටියේ සෝරත හිමි, කුකුල්නාපේ දේවරක්ඛිත හිමි, කළුකොඳයාවේ පඤ්ඤාශේඛර හිමි, පරවාහැර වජිරඥාන හිමි, පළන්නොරුව විමලධර්ම හිමි ඇතුළු මහ පඬිවරුන් රැසකගේ ඇසුර ලැබීමට ධර්ම ශාස්ත්‍ර භාෂා ඥානය ලැබීමට සරණංකර හිමියන්ට පින ලැබිණ. විද්‍යෝදය පිරිවෙනේ අවසාන විභාගය සමත් වීමෙන් පසු ඉංග්‍රිසි අධ්‍යාපනය සඳහා උන්වහන්සේ කොළඹ පෙම්ඩ්‍රොක් ඇකඩමියට ඇතුළු වූහ.
1931 මාර්තු 01 වැනි දා උන්වහන්සේට අමතක නොවන දිනයක් විය. එදා අනගාරික ධර්මපාලතුමා මහා ‍බෝධි මන්දිරයේ සිට විද්‍යෝදය පිරිවෙනේ සුමංගල ශාලාවට රෝද පුටුවකින් පැමිණියේ ය. පුටුව තල්ලු කරගෙන ආවේ පසුකලෙක මහා ලේඛකයකු වූ කේ.බී. සුගතදාස මහතා ය. එතුමා එදා විද්‍යෝදය ශිෂ්‍ය පිරිස ඇමතුවේ ය. එය ලංකාවේදී එතුමා කළ අවසන් දෙසුමය.
ඒ දේශනය අපේ සරණංකර හිමියන්ගේ සිත් තුළට කිඳා බැස්සේ ය. උස් හඬින් නැඟුණ ද එහි වූයේ දුක් මුසු කළකිරීම් ස්වභාවයකි. ‘ධර්මපාලතුමනි, මම මගේ ජීවිතය, බුදු දහමත්, සිංහල ජාතියත්, මේ මවුබිමත් වෙනුවෙන් කැප කරමි.” අදිටන ද සිත තුළට කිඳා බසිනු හිමියනට දැනිණ. ඊට පසුදා ම ධර්මපාල තුමා මවුබිම හැර ගියේය. යළි පැමිණියේ නැත.

*********
1943 දෙසැම්බර් 16 වැනිදා ගනේගම සරණංකර හිමියෝ ප්‍රාචීන පණ්ඩිත විභාගයෙන් සමත් වූහ. ඉන්පසු කොළඹ යුනිවර්සිටි කොලීජියට ඇතුළු ව පාලි, සංස්කෘත, සිංහල විෂයත් ඉංග්‍රිසි මාධ්‍යයෙන් හැදෑරූ හ. දෙවර්ෂයකට පසු උන්වහන්සේ එය අත් හළහ.
1951 දී අප හිමියෝ භාරතයේ ශාන්ති නිකේතනයේ ශිෂ්‍යයෙක් වූහ.
එහි දී උන්වහන්සේ ගේ ප්‍රගතිශීලී අදහස් වඩාත් මුවහත් විය. තාගෝර්තුමා විසින් පාලනය කැරුණු ශාන්ති නිකේතනය නිදහස්, දැහැමි සිතිවිලිවල උල්පතෙකි. ඒ සිතිවිලි ලිපිවලට නැඟුණේ ලංකාවේ සිංහල පුවත්පත්වල පළවිය. මහා පුවත්පත් කලාවේදී පියසේන නිශ්ශංක සූරීහු අප හිමියන්ගේ රචනා ශෛලියේ අගය දැන දිනමිණ - සිළුමිණ පුවත්පත්වලට ලියන්නැයි ඇරැයුම් කළහ. ඉන්පසු සතිපතා ‘දඹදිව විත්ති’ වශයෙන් ලිපි පෙළක් ලිවීම ඇරැඹිණ. ප්‍රියරන්ජන් නමින් තවත් ලිපි පෙළක් ඇරැඹූහ.
මේ ලිපි රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කෙළේය. ඒවා කියැවූ දුස්සීලයෝ කුපිත වූහ. ‍
1954 දී බුරුමයේ පැවැති සයවන ධර්ම සංඝායනාවට ද අප හිමියෝ සහභාගි වූහ.
ශාන්ති නිකේතනයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ සරණංකර හිමියෝ 1956 නොවැම්බර් 01 වැනිදා බද්දේගම ගනේගම ශ්‍රී රතනසාර විදුහල් ගුරුවරයකු ලෙස සේවය ඇරැඹූහ.
ගනේගම නා හිමියන්ගේ ජංගම පුස්තකාලය
1960 සැප්තැම්බර් 01 වැනි දා සිට උන්වහන්සේ ගනේගම රතනසාර පිරිවෙනේ පිරිවෙන්පති වශයෙන් පත්වූහ. 1959 දී උන්වහන්සේට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය තනතුරක් ලැබිණ.
උන්වහන්සේ 1966 මාර්තු 13 වැනිදා ලංකාවේ ප්‍රථම ජංගම පුස්තකාලය බිහි කළහ. ගොන් කරත්තයක රාක්ක ගසා, රාක්කවල පොත් පුරවා ඈත ගම්වලට මේ ජංගම පුස්තකාලය ගෙන ගිය අප හිමියෝ ගැමි ජනතාවට පොත් සමඟ ගෙවන ජීවිතයක් හඳුන්වා දුන්හ. වසර දහයක් ම මේ ජංගම පුස්තකාල සේවාව පැවතිණ.
වියපත් ව, අසරණව වැඩ වෙසෙන භික්ෂුන් වහන්සේලාට අප හිමියනගේ දෑස යොමු විය. සිය අරමට අයත් කීඹි ඇළ විජේවර්ධනාරාමය වයෝවෘද්ධ භික්ෂු විවේකාරාමයක් වශයෙන් ගොඩ නැඟුණේ අප හිමියන්ගේ මහා කරුණාව නිසා ය. ඒ සඳහා උන්වහන්සේ ගේ පාසල් මිතුරකු වූ ඇල්බට් එදිරිසිංහ මහතාගේ අනුග්‍රහය ද ලැබිණ.
අප හිමියන්ගේ ජාතික සහ ආගමික සේවා ඇගයූ මල්වතු මහා සභාව විසින් උන්වහන්සේට 1977 දී ගාලු කෝරළේ ප්‍රධාන සංඝනායක පදවිය පුදනු ලැබිණ.

**********
යාපනයේ කුලහීනයන් සහ කුලීනයන් අතර ගැටුමක් ඇති විය. කුලහීන හෙවත් හරිජනයන් ට උසස් කුලවල අයගෙන් සිදුවන හිංසා පීඩා ගැන අප හිමියනට අසන්නට ලැබිණ. සිය කලණ මිතුරු අකුරැස්සේ අමරවංශ නාහිමියන් සමඟ අප හිමියෝ යාපනයට වැඩියහ.
පෙඩරල් පක්ෂය සහ ද්‍රවිඩ සංගමය උසස් කුලවල අයගේ පක්ෂ දෙකකි. මේ පක්ෂවල හා නායකයන් කුලහීනයන් පෙළූහ. ඔවුන්ට සැලකුවේ මිනිසුන් ලෙස නොවේ. අප හිමිවරු කුලහීනයන්ට දහම් දෙසූ හ. කුලීනයන්ට ද දහම් දෙසූ හ. කුලමානයෙන් මත් වී සිටි සිය ආගමෙන් ද ඉඩ දෙන බව ඇදහු කුලීනයෝ බුදු බණට කන් වසා ගත් ය. බුදු රජාණන් වහන්සේ ගේ සමානාත්මතාවය කුලවාදයට එරෙහි වන බව කුලහීනයන්ට වැටහිණි. ඔවුන්ට ගැළපෙන්නේ බුදු දහමය. අපි බෞද්ධයෝ වෙමු. යන හැඟීම් කුලහීනයන්ගෙන් පළ විය.
ආපසු බද්දේගමට වඩින විට අප හිමියන් සමඟ කුලහීන දෙමළ දරුවෝ සියයක් පැමිණිය හ. ඔවුන් බද්දේගම අවට පන්සල් කීපයක නතර කළ අප හිමියෝ ඔවුන්ට බුදු දහම ද, සිංහල බස ද ඉගැන්වූහ. ආහාර, වස්ත්‍ර, නවාතැන් සැපයූ හ.
පසුකලෙක, වසර 15 කට පමණ පසුව අප හිමියන් ගේ ශිෂ්‍ය බද්දේගම සමිත හිමි ප්‍රංශයෙ සිටිය දී එක් දෙමළ ඉංජිනේරුවෙක් උන්වහන්සේ සොයා පැමිණියේය.
“බද්දේගම දුටුගැමුණු විහාරයේ හාමුදුරුනමක් මෙහේ සිටින බව මට අසන්නට ලැබුණා. අවුරුදු 15 කට පෙර මා සිටියෙ ඒ විහාරයේ. ගනේගම සරණංකර හාමුදුරුවන්ගේ ශිෂ්‍යයකු වශයෙන් අපි ඒ පන්සලේ නතර වී බුදු දහම - සිංහල සහ පාසල් විෂයන් ඉගෙන ගත්තා. මා කුලහීන දුප්පත් ළමයෙක්. අපි යාපනේ දුක් වින්ඳා. කුලීන අය අපට ඉගෙනගන්න ඉඩ දුන්නේ නැහැ. ගනේගම හාමුදුරුවෝ අපි සිය දෙනකුට බද්දේගම දි උගන්නලා ඇස් පෑදුවා. මා දැන් හොඳ පඩියක් ගන්න ඉංජිනේරුවෙක්. මා වගේ දියුණු වූ අය හුඟ දෙනෙක් ඉන්නවා. ගනේගම හාමුදුරුවො නිසා අපි බුදු හාමුදුරුවොත් හඳුනා ගත්තා. මගේ නම යෝග රත්නම්...”
ඔහු කීවේය. ඔහු ගේ ඇස්වල නළියන කඳුළු සමිත හිමියනට පෙනිණ. යුද්ධය හමාර වූ පසු ලංකාවට ආ ඔහු බද්දේගමට පැමිණ ‍ගනේගම හිමියන්ගේ පිළිරුවට නමස්කාර කොට හඬා වැළපී ගියේ ය.

***********
උන්වහන්සේ ලේඛකයකු වශයෙන්, ගත්කරුවකු වශයෙන් ඉහළ ම නමක් දිනා ගත්තේ ය. පාඨකයෝ අප හිමියන්ගේ පොත් මහත් සතුටින් පිළිගත් හ.
1932 දී උන්වහන්සේ උපසම්පදාව සඳහා ඉදිරිපත් කළ ප්‍රබන්ධය මරදානේ මහාබෝධි යන්ත්‍රාලයෙන් මුද්‍රණය කැරිණ. එය අප හිමියන්ගේ මුල් මැ කෘතිය විය. 1960 දී ‘සිංහල වාක්‍ය රචනා’ 1961 දී ‘සිංහල රචනා රත්නය’ පළ කැරිණ.

1963 දී ‘බුද්ධ ඝෝෂ’ කෘතිය පළ කැරිණ. එය අප හිමියන් බී.සී. ලෝ ලියූ ඉංග්‍රිසි කෘතියක් සිංහලට නැඟීමකි. “බෞද්ධ මහාධිරාජ අශෝක හා සෙල්ලිපි” සහ “ප්‍රියරන්ජන්ගේ ජනප්‍රිය රචනා” උන්වහන්සේගේ තවත් කෘති දෙකකි.
1973 පළ කළ “බුදු හාමුදුරුවෝ” කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමි විය. එය මෑත යුගයේ පළ වූ මහා ශ්‍රද්ධා කාව්‍යයක් බඳු විය. “ආනන්ද ‍හාමුදුරුවෝ, ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල, සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨ වීරයා (දුටුගැමුණු) යසෝදරාව, බුද්ධ මාර්ගය, රාජා භවතු ධම්මිකෝ, උන්වහන්සේගෙන් ජාතියට පිදුණු තවත් අගනා පොත් කීපයකි.
උන්වහන්සේ ලේඛකයකු මෙන් ම අභීත දේශකයෙක් ද විය. කොටි සංවිධානය 1983 එක් දිනෙක කළ මහා සංහාරයකට සතියකින් පසු රත්මලානේ ආරාමයක රැස්වීමක් පැවැත්විණ. මුලසුනේ සිටියේ අප හිමියෝය. ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතා ද වේදිකාවේ සිටියේ ය.
උන්වහන්සේ මෙසේ කී හ.
“මෙන්න ඉන්නවා අප ආරක්ෂා කරන ආරක්ෂක ඇමැති. නමුත් දැන් අපේ ජාතියට ආරක්ෂාවක් නැහැ. කොන්ද කෙළින් තීරණ ගන්න මේ ආරක්ෂක ඇමතිවරුන්ට බෑ....”
හමුදා නිලධාරින් රැසක් සමඟ පැමිණ සිටි ඇමැතිවරයා අමතා මෙසේ අප හිමියන් ප්‍රකාශ කරන විට සභාව ගල්ගැසී ගියේය.
ඇමැතිවරයා පිළිතුරු දුනි.
“ඔබ වහන්සේ කතා කළේ හදවතින්. නමුත් අපට හදවතින් කතා කරන්න බැහැ. අපි එක් එක් බලවේගවලින් පාලනය වෙනවා.”
උන්වහන්සේ පැවිදි වූයේ බද්දේගම හැඩිදෙමළකන්ද රජ මහා විහාරයේ ය. එහෙත් විහාරාධිපති වන විට හැඩිදෙමළකන්ද ගිලී ගොස් දුටුගැමුණු නම මතුවිය. එය දුටුගැමුණු රජමහා විහාරය නම් විය. විහාරය පිහිටි කඳු මුදුන තෙක් විහිදෙන පියගැටපෙළට සමාන්තරව දශමහා යෝධයන්ගේ ප්‍රතිමා ද ඉහළ විහාරය අසල දුටුගැමුණු රජතුමා ගේ සහ විහාර මහා දේවියගේ ප්‍රතිමා ද ඉදිකරවනු ලැබිණ. දුටුගැමුණු නම උන්වහන්සේ යොදා ගන්නේ නිකම් මැ නොවේ. උන්වහන්සේ මෙසේ කියති. “වි‍ෙද්ශයක සිට තම රටට අවුත් තමන් සමඟ මුහුණට මුහුණ ලා සටන් කොට තමන් අතින් ම මැරුම් කෑ තම සතුරා ගේ සිරුර ගෞරවාදරයෙන් ආදාහනය කරවා සොහොන් ගැබක් බන්දවා එතනින් යන එන හැම කෙනකුට ම එයට ගෞරවාචාර කොට යා යුතුයයි රාජාඥාවක් නිකුත් කිරීමෙන් දැක්වූ අරුම පුදුම අති උතුම් අති ශ්‍රේෂ්ඨ මිනිස් ගුණය නිසා ය.”

- සිංහල ජාතියෙ ශ්‍රේෂ්ඨතම වීරවරයා - 1983

************
සසුනට, රටට, දැයට කළ වැඩට මුළු දවසම වැය වුවද උන්වහන්සේ සිය පැවිදි ශිෂ්‍යයන් හසුරවා ගැනීමට ද කෙසේ හෝ කාලය ඉතිරි කැර ගත්තේය. වැලිවිටියේ සුමනහිමි, වැලිවිටියේ චන්දිම හිමි, බානගල ගුණරතන හිමි, බද්දේගම සමිත හිමි ඒ ශිෂ්‍යයන්ගේ කීප නමකි. ගුණ නුවණ යුතු, කීර්තිමත්, රටට දැයට වැඩදායක වූ ශිෂ්‍යයන් වශයෙන් මේ හිමිවරුන් තැනූ අප හිමි ආදරණීය පියෙක් විය.

************
ඒ 1988 - 89 භීෂණ සමයයි. උගත් තරුණයන්ට, තරුණ භික්ෂූන්ට ජීවිතය තහනම් කැරුණු සමයයි.
බද්දේගම සමිත හිමි උන්වහන්සේ ගේ කුටියේ සැඟවී සිටියහ. රෑ මැදියම ඒ කුටියේ කවුළු පියන්පත ගැටෙන හඬින් සමිත හිමියෝ පිබිදුණ හ. කවුළුව ළඟට නොගොස් කාමරයෙන් පිටතට පැමිණ ඒ කුමන හඬක් දැයි සමිත හිමියෝ පරීක්ෂා කළ හ.
අඳනකඩ පිටින් ගුරු හිමියෝ බිත්තිය අද්දරට වී සිටිති. උන්වහන්සේ සිය ශිෂ්‍යයාගේ අතින් අල්ලාගෙන ඇතුළට පැමිණ “සමිත, ඇයි ජනෙල් වහන්නෙ නැතිව නිදාගන්නේ. තේරෙන්නේ නැද්ද? මේ දවස් භයානකයි. විශේෂයෙන් ම සමිතට හොඳ නැහැ. ආණ්ඩුව සමිත වගේ අයට ජීවත්වෙන්න දෙන්නෙ නැහැ. පරෙස්සම් වෙන්න..... යං මගේ කාමරයට...” කීහ.

ගුරු හිමියන් ම පැදුරක් ගෙන බිම එළා කොට්ටයක් දමා
“දැන් මෙතන නිදාගන්න” යැයි කී හ.
සමිත හිමියෝ ගුරු බසට අවනතව පැදුරේ වැතිරුණාහ. උන්වහන්සේට නින්ද ගියේ නැත.
ගුරු හිමියෝ ද අවදියෙනි. විටෙක දිග සුසුමක් පිටවෙයි. සිය ශිෂ්‍යයා රැක ගැනීමට උන්වහන්සේ නොනිදා සිටියි.
ගනේගම හිමියන් නිසා ඒ ආරාමයට ආරක්ෂක හමුදා කඩා වැදුණේ නැත. උන්වහන්සේගේ ශිෂ්‍යයාට අතවරයක් සිදුවුවහොත් මුළු බද්දේගම ම කැරලි ගසන බව රජය දැන සිටියේ ය.

************
සමිත හිමියෝ නින්දේ දී ගොරවති.
නා හිමියෝ ළඟට එති.
“සමිත, ඔහොම ගොරවන්න එපා. ඔය සද්දෙ ඇල්පිටියෙ හමුදා කඳුවුරටත් ඇහෙනව ඇති. කොට්ටව කැළේ නාඳුනන තුවක්කු කරුවන්ටත් ඇහෙනව ඇත.”
උන්වහන්සේ සමිත හිමිගේ කොට්ටය සකස් කරමින් කියයි. රට සන්සුන්වන තුරු ම සමිත හිමි සැතපුණේ ගුරු හිමියන්ගේ කුටියේය.
“ටිකක් දඩබ්බර තමයි. ඒ වුණාට මේ උන්වහන්සේ රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක්...”
සිය ශිෂ්‍යයා ආරක්ෂා කර ගන්නා මෙන් ප්‍රදේශයේ හිතවත් දායකයන්ට උන්වහන්සේ කීහ.

***************
අප හිමියන්ගේ වෙහෙස ඇගයූ ජනතාව උන්වහන්සේට කොළඹ ආනන්ද විදුහලේ දී ‘ගණේගම සරණංකර ප්‍රණාම උලෙළ පැවැත්වූහ. නා හිමි නමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ශිෂ්‍යත්ව අරමුදලක් පිහිටුවිය. ‘ගනේගම ශ්‍රී සරණංකර ප්‍රසාදිනි’ සම්මාන ග්‍රන්ථය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතින් එහිදි අප හිමියන්ට පිළිගැන්විණ.

*************
අප හිමියනට අසූ දෙහැවිරිදි විය එළඹිණ. සිරුර දුර්වල විය. ලිවීමේ වේගය ද අඩු විය.
“සසුන් කෙත හෙබ වූ අපේ පැරණි පොඩි හාමුදුරුවරු” යන කෘතිය ලිවීම ඇරැඹිණ. ඇඟිලි තුඩු වෙවුළන බව දැනිණ. එහෙත් ලිවීම හෙමින් හෙමින් හෝ සිදුවිය.
“ඇස් ටිකක් කහපාට වෙලා....” ශිෂ්‍යයෙක් ගුරු හිමියන්ට කීය.
“ඒ උෂ්ණෙට... මුත්‍රත් කහපාටයි... ඒත් උෂ්ණෙට” හිමියෝ කෙටි පිළිතුක් දී දිගටම ලියූ හ. කලක් ගෙවිණ.
“හාමුදුරුවනේ ඔබවහන්සේට ලොකු ලෙඩක් තියෙනවා. ප්‍රතිකාර ගන්න යමු.” සමිත හිමියෝ කීහ.
“නැහැ. මම සනීපෙන්.”
අකුරු විරූපී විය. එහෙත් දිගට ම ලිවීම සිදුවිය.
1989 දෙසැම්බර් 29 වැනි දා අලුයම ඒ අතින් පෑන ගිලිහිණ. දෑස් පියවිණ. ලොවෙන් සමුගැනීමේ මොහොත එළඹිණ.
ගාලු කෝරළේ ප්‍රධාන සංඝනායක, දුටුගැමුණු රජමහා විහාරාධිපති ගනේගම ශ්‍රී සරණංකර සංඝ පීතෘවරයාණන් වහන්සේ එදා සසුනට, දෙසට, බසට, රැසට, හිත ඇත්තන් හඬවමින් අපවත් වී වදාළහ.

දෙනගම සිරිවර්ධන

පහතින් පළ වන්නේ පූජිත ජීවිත හී සටහන් වූ ගණේගම සිරි සරණංකර චරිතයයි.
උපුටා ගැනීම - පූජිත ජීවිත (ගොඩගේ ප්‍රකාශන)

ගණේගම ශ්‍රී සරණංකර හිමි by sinhalaebooks