Monday, March 2, 2015

සුළැඟිල්ලෙන් ලේ ගලනතුරු ඉතිහාසය පිරික්සූ මහාචාර්යවරයා - තෙන්නකෝන් විමලානන්ද

මේ ලිපිය පළවන්නේ පරසුද්දන් විසිනුත් ඉන් පසුව උන්ගේ දරුවන් වූ කළුසුද්දන් විසිනුත් අහිමිකළ සිංහලයන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි ,ඒ ඉතිහාසය හෙළිදරවු කළ අද වන විට කා හටත් අමතක වී ඇති යුග පුරුෂයෙක් වෙනුවෙනි.


අපේ රටේ විශිෂ්ට ගණයේ ඉතිහාසඥයන් කීප දෙනෙක්ම හිටියා. ජී. සී. මෙන්ඩිස්, පෝල් ඊ පීරිස් මෙන් ම මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද ද ඉන් ප්‍රමුඛයෙක්. කාණ්ඩ තුනකින් යුතුව පළ කෙරුණු උඩරට මහ කැරැල්ල පොතම ඇති එතුමාගේ ඉතිහාස දැනුම වටහා ගන්න.

මහාචාර්ය විමලානන්ද ශ්‍රී ලාංකිකයන් අතර විශේෂයෙන් සිංහල බෞද්ධයන් අතර විශාල කීර්තියක් අත්පත් කරගන්න හැකි වූ විශේෂ කාරණාවක් ද තිබෙනවා. ඒ තමයි සැරියුත් – මුගලන් අගසව්වන් වහන්සේලා දෙදෙනාගේ ධාතුන් වහන්සේ සොයා ගැනීම. එතුමා එය සොයා ගත්තේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන්. එතුමා ඒ වනවිට තම ආචාර්ය උපාධිය සඳහා ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගොස් සිටියා. මොග්ගලිපුත්තතිස්ස රහතන් වහන්සේ ගේ ධාතු තිබෙන කරඬුව සොයා ගැනීම ගැන මහාචාර්ය විමලානන්ද වරක් පුවත්පතකට කරුණු දක්වා තිබුණා. එම පුවත්පත් ලිපිය ලිව්වේ ප්‍රවීණ ලේඛකයකුව සිටි චන්ද්‍ර අනගිරත්න. එය අපූර්ව විශේෂාංග ලිපියකට හොඳ උදාහරණයක්. ඒ තරමටම එය ඉතා රසවත්ව ලියා තිබුණා. මේ එයින් උපුටා ගත් කොටසක්.

“බ්‍රිතාන්‍ය කෞතුකාගාරය මට හරියට ගෙදර වගේ. මං ඒකේ අස්සක් මුල්ලක් නෑර ඇවිදලා තියෙනවා. මට දවසක් හිතුණා ඒකේ පොළොව යට තියෙන තට්ටුවකට යන්න. ඒක ප්‍රදර්ශනය සඳහා නැති, අනම් මනම් ගොඩ කරල තියෙන ගබඩා කාමරයක් වගේ. කාටවත් ඒකට ඇතුල් වෙන්න තහනම්. ඒක බොහෝම ආරක්ෂා කරලා තියෙන්නේ. මුරකාරයෝ මාව එළවා ගත්තා. මමත් අතහැරියේ නෑ. ඒක භාරව ඉන්නේ සුද්දියක්. මං එයාව යාළුකර ගත්තා.

එවිට චන්ද්‍ර අනගිරත්නට හිනා යනවා.

“මොකද තමුසේ හිනා වෙන්නේ?”

“නෑ සර්”

“මං එයා යාළුකර ගත්තේ තමුසෙට වගෙ මඟුල් විසේට නෙවේ. බුද්ධ වර්ෂ 250 දි ධර්මාශෝක රජ්ජුරුවෝයි, මොග්ගලිපුත්ත තිස්ස මහ රහතුන් ගේ ධාතු සාංචි ස්තූපයේ තැන්පත් කළේ. තමුසෙ දන්නව ද මොග්ගලිපුත්ත?”

මහාචාර්ය තෙන්නකෝන්, පුවත්පත් කලාවේදියාගෙන් විමසනවා.

“ඔව්. තුන්වැනි ධර්ම සංගායනාව පැවැත්වූවේ.”

“ඔව්. කනිංහැම් කියන පුරා විද්‍යාඥයා සාංචි ස්තූපය හාරලා ඔය ධාතුන් වහන්සේලා ලන්ඩනයට ගෙන ගියා කියලා මට විශ්වාසයි. නමුත් කෞතුකාගාරයේ කොහෙවත් ඒ යුගයේ කරඬුවක්වත් මට හොයා ගන්න බැරි වුණා. ඒකයි මං යට තට්ටුවට රිංගුවේ. මුරකාරයෝ එහෙ මෙහෙ වුණායින් පස්සේ අර සුද්දි මාව හොරෙන්ම ඇතුළට ගත්තා. ඉතිං මං ඒ සුද්දි පස්සේ ගියේ නෑ. ගොඩ ගහල තියෙන අබලන් කරඬු වගයක් තියෙන තැනට ගියා. හොයා ගෙන හොයා ගෙන යනකොට මට හම්බු වුණා මං හොයපු දේ. මොග්ගලිපුත්තතිස්ස රහතන් වහන්සේලාගේ ධාතු තියෙන කරඬුව.”

මහාචාර්ය විමලානන්ද උපන්නේ නුවර පැත්තේ ගුන්නෑපාන කියන ගමේ. ඔහු මුලින්ම ගියේ ගමේ පාසලට. ඇතැමුන් තමන් ‘රොයලිස්ට්, ‘තෝමියන්’ යැයි මහත් උජාරුවෙන් කියද්දී මහාචාර්යතුමා කිව්වේ තමා ‘ගුන්නෑපානියන්ස්’ කියලා.


අනගාරික ධර්මපාලතුමා මුණගැසීම මහාචාර්ය තුමාගේ ජීවිතයේ ආවර්තන ස්ථානයක්. එතුමා ධර්මපාල තුමා එක්ක ඉන්දියාවට ගියා. මහාචාර්ය විමලානන්දගේ මුල් නම මුතුබණ්ඩා තෙන්නකෝන්. ඒ නම විමලානන්ද කියා වෙනස් කළේ ධර්මපාල තුමා. මොකද ධර්මපාල තුමා හිතුවා එතුමා කවදා හෝ පැවිදි බව ලබයි කියලා.


මහාචාර්ය විමලානන්ද ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලැබුවේ කල්කටා විශ්වවිද්‍යාලයෙන්. එතුමා ශාන්ති නිකේතනයට ද ගියා. පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමිත් පූජ්‍ය කුඹල්වැල්ලේ සිරිනිවාස හිමිත් එකල මෙතුමාගේ සමකාලීනයන්.


ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළු වුණු මහාචාර්ය විමලානන්ද, ඩී. බී. කොඩ්රිංග්ටන්, සර් මෝටිමර් විලර් වැනි විද්වතුන් යටතේ පර්යේෂණ කර ආචාර්ය උපාධිය ලබා ගත්තා. ඔහුගේ නිබන්ධනය වූයේ ‘ශ්‍රී ලංකාවේ ශිලා ලේඛන’ යන්නයි.


මහාචාර්යතුමා උඩරට මහ කැරැල්ල ප්‍රමුඛ කෘති ලිවීම සඳහා කරුණු ගවේෂණය කරන්නට ලන්ඩන්, එඩින්බරෝ, පැරිස්, හේග්, ලිස්බන් ආදි කෞතුකාගාරවල ලේඛන පරීක්ෂා කළා. ඔහු වරක් මේ අත්දැකීම් හෙළිදරව් කළේ මේ අයුරින්.

“මම මාස ගාණක් මියුසියම් එකෙයි, කොලෝනියල් ඔෆිස් එකෙයි පබ්ලික් රැකෝඩ් ඔෆීස් එකෙයි වාඩිවෙලා පිටු දහස් ගණනක් පිටපත් කළා. ඔය උඩරට කැරැල්ලේ ලේඛන පිටපත් කරගෙන යනකොට දවසක් මං ලිය ලිය හිටි කඩදාසියේ තැන් තැන්වල ලේ පැල්ලම්. කඩදාසියටම මගේ සුළඟිල්ල මැදිලා හම ගිහිල්ලා එදා ලේ ඇවිත්.”


1818 කැරැල්ල සිංහල ඉතිහාසයේ අති විශිෂ්ට කැරැල්ලක්. සුද්දා තමන් පරාද වන බව දැනගෙන යුද නීති පවා නොතකා ඉතා ම්ලේච්ඡ විදියට එය මැඩ පැවැත්වූයේ නැත්නම් එදා අපි දිනනවා. මහාචාර්ය විමලානන්ද ඒ බව පෙන්වා දී තිබෙනවා. රොබට් බ්‍රවුන්රිග් වැනි කෲර සේනාධිපතිවරුන් අටළොස් විය ඉක්ම වූ හැම පිරිමියෙක් ම ඝාතනය කරන ලෙසත්, හැම ගෙයක්ම ගිනි තබන ලෙසත් හැම ගහක්ම කපා දමන ලෙසත්, කුඹුරු පාළු කර ඉඩම් රාජසන්තක කරන ලෙසත් විධාන කළා.


උඩරට මහා කැරැල්ල හැරුණු කොට ‘ඩේව් දුටු ලංකාව’, ‘පැරණි ලංකාවේ ශිලා ලිපි’, ‘ලංකාවේ පනස් වසක්’, ‘පැරණි ලංකාව හා ශිලා ලිපි’, ‘සිංහලයේ සංහාරය’ මහාචාර්යතුමාගේ අත් පොත් අතරින් කීපයක්.


මහාචාර්ය විමලානන්ද අවසාන කාලය ගත කළේ ඉතාම දුක්ඛිතව එතුමාට විශ්‍රාම වැටුපක්වත් අර්ථසාධක අරමුදලක් වත් තිබුණේ නැති නිසා ජීවත් වුණේ හරිම අමාරුවෙන්. එතුමා තමන්ගේ කාර් එක වික්කා. බැරිම තැන තමාගේ පෞද්ගලික පුස්තකාලයේ තිබුණ අතිශය වටිනා පොත් එකින් එක විකුණන්න පටන් ගත්තා. ඒක තමයි මෙරට බුද්ධිමතුන්ගේ ඛේදවාචකය. එතුමාගේ ජීවිතය දිහා බලද්දි ‘මොකටද ඔය තරම් ඉගෙන ගන්නේ’ කියලා හැඟීමක් කිසියම් පාසල් සිසුවකුට ඇති වුණොත් ඒක පුදුම වෙන්න කාරණාවක් නෙමෙයි.


රටට ජාතියට අප්‍රමාණ මෙහෙවරක් ඉටුකළ මෙවන් සත්පුරුෂයන් අවසානයේ කලකිරීමෙන් යුතුව මිය පරලොව ගියා. ඒ තමයි මේ කොදෙව්වේ මුස්පේත්තුකම; කාලකණ්ණිකම.


සුනිල් මිහිඳුකුල විසින් රචිත ලිපිය උපුටාගැනීම දිනමිණ පුවත්පතෙන්