Thursday, April 23, 2015

සකල සිංහල චක්‍රවර්තී





මුද්‍රණයෙන් පළ වන්නේ 1987 දීය,අද වනවිට මෙය කෙතරම් නම් සැබෑවීදෑ යි, කන් නමා සිත් යොමා අසත් වා

"...අද සිංහලයන් ගැන සඳහන් කරන ඇතැම් අය සිංහල වර්ගයා යනුවෙන් හඳුන්වා දෙති.සිංහලයන්ට පවරන මේ වරිග (වර්ග) කතාව අද ඊයේ ඇතිවූවක් නොවේ.ඉස්සර ප්‍රජාචාරය නම් විෂයයක් පාසල්වල උගැන්විනි.ඊට පොත් පත් ලියා හරිහම්බ කර ගත කට්ටියක් ද විය.ඒ භවත්හු සිංහල වර්ගයා,දෙමළ වර්ගයා,මුස්ලිම් වර්ගයා,බර්ගර් වර්ගයා,යනුවෙන් මෙහි වාසභූමි කරගෙන සිටින ජනයා බෙදුහ.ඒ ඒ වර්ගයා එක් වීමෙන් ලාංකිකයා නම් අමුතු කෘත්‍රීම පුද්ගලයකු බිහි කිරීමට ඒ චින්තනය වැර ගත්තේ ය.එය හරි ගියේ ය.ඒ කෘත්‍රීම දරුවා බිහි වි ය.උන් හදා වඩා ගන්නට දේශපාලඥයෝ දෑත් දිගු කළහ;කටට සූප්පු දුන්හ.ඌ දැන් හැඩිදැඩි පුද්ගලයෙකි.සිංහලයෙක් නොවේ.දුටු තැන - විශේෂයෙන් සිංහලයා දුටු තැන පසු පස්සේ එළවයි.අවි අමෝරාගෙන ම එළවයි..."

..."එකම සම්භවයක් ඇති ජනකායකින් ජාතියක් නිර්මාණය වේ.ඇතැම් විට ඒ ජනකායට වෙනත් වෙනත් මුලයන්ගෙන් හටගත් සුළු ජන කොටස් විවිධ කාරණා හේතුකොට ගෙන ඇතුල් වී ඇති බව දක්නට ලැබේ.එහෙත් ඒ කිසිවෙකුගේ නමින් ජාතිය හඳුන්වනු නොලැබේ.ජාතිය හඳුන්වන්නේ පොදු සම්භවය ඇති ප්‍රධාන ජනතාව නමිනි..."

"...පන්සලේ ද පල්ලියේ ද කෝවිලේ ද දැල්වෙන්නේ එකම පහන ය යි කල්පනයක් දැන් දැන් අසන්නට ලැබේ.ලෑලිවල කියවන්නට ලැබේ.එය අහේතුක ප්‍රලාපයකි.සම්බුදුරජාණන් වහන්සේ විසින් තර්කයෙන් බිඳ දැමූ මිසදුටු පහන් කබල් අවුලාගෙන දූවිලි පියා තෙල් වැටි දමා යලි දල්වන්නට තැත් කරන්නෝ ඔබට පිටුපා යන්නෝ ය.වල්මත් වී හසරක් නොදන්නා පන්ථකයෝ ය.

පන්සලේ පමණක් දැල්වෙන පරම පවිත්‍ර පහන නිසා සිංහලද්වීපය ධර්මදීපය වී ඒකාලෝක වූ බව ඒ පන්ථකයන් දැන්වත් දතයුත්තේ ය.

වරක් දෙවරක් නොව දසාධික වාරයක් සිය මවුබිම රැකීම උදෙසා සිංහලයා අවශ්‍ය වූ විට අවි ගත්තේ තමා උපන් සිංහල ජාතිය ජාත්‍යාලයෙන් පන්නරය ලබා සිටි බැවිනි.ඒ ජාත්‍යාලය අවුරුදු දෙදහස්පන්සිය තිහකටත් වැඩි කාලයක් තිස්සේ දැඩි වී ආ ජීවපදාර්ථයකි.ඔවුන් එය තමන් රැක ගැනීමට විනා අනුන් අහේතුකව පෙළීමට කවරදාකවත් මෙහෙයවා නැත.අද මෙවන් ජාතියක් රැක ගැනීමට කතාකරන්නා, ලියන්නා, ගයන්නා, ඇතැමකුට ජාතිවාදියෙකි.වන්නාට ය...."

මහැදුරු අබය ආර්යසිංහ සූරීහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ද කැළණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ද ආරම්භක අධිපති වූහ.ඉහතින් දැක් වූයේ එතුමන්ගේ ග්‍රන්ථයේ සඳහන් වූ දෙයින් කොටසක් ය.එය අද වන විට කෙතරම් සැබෑ වී ඇති දැයි අමුතුවෙන් කිව යුත්තේ නැත.

මහාපරාක්‍රමබාහු නරශ්‍රේෂ්ඨයාණන් විසින් හිඳුවන ලද නාගදීප ශිලා ලේඛනය වූ කලී සිංහල රජකු විසින් පිහිටුවා ඇති පැරණි ම ද්‍රවිඩ භාෂා ලිපිය යි.එම ලිපිය පාඨකයන්ට සිංහලෙන් හැදෑරීමට අවස්ථාවක් ලබාදීම සඳහා "සකල සිංහල චක්‍රවර්තී"ප්‍රකාශනය මහාචාර්ය අබය ආර්යසිංහ සූරීන් අතින් සකස් විය.මේ එහි අන්තර්ජාල පිටපතයි.

මේ වෙනදාටත් වඩා සිංහල බෞද්ධ අප,අපගේ ඉතිහාස දැනුමින් සන්නද්ධ විය යුතු කාලයයි.එයට අපගේ මේ සුළු කාර්යය උපකාර වේවා යයි ප්‍රාර්ථනා කරන්නෙමු.

මෙහි මුද්‍රිත පිටපත් වෙළෙඳපොලේ සොයා ගැනීමට නොමැත.

Sakala Sinhala by අපේ පොත් එකතුව