Sunday, June 18, 2017

බුදුහාමුදුරුවෝ



මේ අගනා ග්‍රන්ථ රත්නය රචනා කරන ලද්දේ ගණේගම සරණංකර හිමියන් විසිනි. මේ ග්‍රන්ථය උන් වහන්සේ පිළිගන්වන්නේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා නායක හිමියන්ටය. මෙහිදී බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන් පවසා ඇති දෙයක් සඳහන් කළ යුතුමය. ඒ නම් "අප හැම දෙනාම මේ තාක් ලියා පළ කැරැ වූ හැම බුද්ධ චරිතයක් ම අභිභවා පණ්ඩිත ගණේගම සරණංකර නායක ස්ථවීර තුමන් රැසැයූ "බුදුහාමුදුරුවෝ" ඉහල පෙත්තට නැග වැජඹේයි.බුද්ධ චරිත ග්‍රන්ථාවලියේ ප්‍රථම අංකයට එය හිමිය.

මේ එම ග්‍රන්ථයේ හැඳින්වීමේ න් උපුටා ගත් කොටසකි.

"අප අදහන, අපේ ශාස්තෘවරයා වූ "බුදුහාමුදුරුවෝ" ඉතා ම හොඳ කෙනෙක් ය. ඊට වඩා හොඳ කෙනෙක් ඇත්තේ ම නැතැයි බෞද්ධයන් වූ අප හැමදෙනෙකුන් ම සිතාගෙන ඉවර ය. උන්වහන්සේ ගැන අපට කිසිම සැකයක් නැත. පරම්පරා ගතව එන මේ අපේ තීරණය නිසාත්, අප උපතින් බෞද්ධයන් වීම නිසාත් ඇත්ත වශයෙන ම බෞද්ධයන්ගෙන් ඉතා ම වැඩි පිරිසක් බුදුන්වහන්සේ ගැන හරිහැටි නො දනිති. අපි උදේ හවස බුදුන් වඳිමු. නව අරහාදී බුදුගුණ සඳහන් ගාථා කියමු. බුදුහාමුදුරුවන් වහන්සේ පිළිබඳව අපෙන් කෙරෙන සියල්ල මෙ පමණ ය. බෞද්ධයන් වශයෙන් මේ පමණකින් තෘප්තිමත් වී සිටිමු.

මී පැණි මිහිරි රසය. ඒ බව අපි හොඳින් දනිමු. ඒ රස විඳ ඇති බැවිනි. එහෙත් ඒ මිහිරි රස දිවගා බලන විටක මිස එසේ නැති විට දිවට දැනෙන්නේ නැත. එසේ ම බුදු ගුණ ඉතා ම ශ්‍රේෂ්ඨ බව අපි දනිමු. එහෙත් ඒ බුදුගුණවල රසවිඳ ගැනීමක් නැත. රස විඳීමට නම් ත්‍රිපිටකය විමසිල්ලෙන් කියවිය යුතුය.ත්‍රිපිටකය තුලින් පෙනෙන බුදුහාමුදුරුවෝ අපේ විහාරය තුළ වැඩ සිටින බුදුහාමුදුරුවන්ට වඩා වෙනස් ය. අපේ විහාරය තුළ වැඩ සිටින්නේ අචේතනික බුදුකෙනෙකි. බුදුරුවකි. ජීවමාන සචේතනික බුදුන්වහන්සේ දැකගත හැක්කේ ත්‍රිපිටකය තුළිනි. උන්වහන්සේ කතා කරන හැටි, බණ කියන හැටි, ප්‍රශ්න විසඳන හැටි, පිළිපදින හැටි, පිඬුසිගා වඩින හැටි, සැතපෙන හැටි, එක මොහොතක් අපතේ නොයවා සේවයෙහි යෙදෙන හැටි, මහන්සියක් නො තකා පා ගමනින් සැතපුම් සිය ගණන් ගම් නියම්ගම්වල චාරිකාවේ හැසිරෙන හැටි, ගස් යට, ගල් උඩ, සුන්‍යාගාරවල තනිව ම වාඩිවී සිටින හැටි හා උන්වහන්සේගේ සිතුම් පැතුම් ජීවමාන ස්වරුපයෙන් දැක ගැනීමට හා දැන ගැනීමට නම් ත්‍රිපිටකය කියවිය යුතුය. එය කියවන්න කියවන්න අපේ බුදුහාමුදුරුවන් ගැන වඩ වඩාත් ආදරය ඇති වෙයි. ගෞරවය ඇතිවෙයි. උන්වහන්සේ කවර විදියේ කෙනෙක් ද උන්වහන්සේගේ බලාපොරොත්තු මොනවා ද? යනු මැනවින් වටහා ගත හැක්කේ ත්‍රිපිටකය කියවීමෙනි.

ත්‍රිපිටකයේ පොතක් දෙකක් කියවා එහි ඇති අගය වටහා ගත, කලකට පෙර මේ රටේ විසූ ඉංග්‍රීසි නිලධාරියෙක් වූ රිස් ඩේවිඩ්ස් මහතා සිය රටට ගොස් මුළු ත්‍රිපිටකයම ඉංග්‍රීසී අකුරෙන් මුද්‍රණය කරවා ඉන් පොත් රාශියක් ඉංග්‍රීසියට නගා සිය බිරිඳත් සමග මුලු ජීවිතය ම ඒ වෙනුවෙන් කැප කළේ ය. ත්‍රිපිටකය සම්පුර්ණයෙන්ම වාගේ අටුවා ටීකාත් සමග මුද්‍රිතව, සෑහෙන ප්‍රමාණයක් සිංහල අනුවාදත් සහිතව තිබෙන මේ කාලයේ එය නොකියවීම තරම් අභාගයක් වෙන නැත.

විශේෂයෙන් ම හැම භික්ෂූන් වහන්සේ කෙනෙකුන් ම ත්‍රිපිටකය අනිවාර්යයෙන් ම කියවිය යුතුය. ත්‍රිපිටකය නො කිය වූ කෙනෙක් බුද්ධාගම හරිහැටි දන්නෙක් නොවේ. බුද්ධ ධර්මය හරිහැටියට අවබෝධ කර ගත්තොත් මේ ලෝකයේ ඇති අනෙක් සියලු ම ශාස්ත්‍ර දැන ගත්තා වෙයි. දැනගත්තෙකුට වඩා ශ්‍රේෂ්ඨ මිනිසෙක් වෙයි. තමන් කවුද යනුත්, තමන් යන්නේ කොහෙද යනුත්, තම ජීවිතයේ පරමාර්ථය කුමක් ද යනුත්, ලෝකය කුමක් ද යනුත් හරිහැටි දැනගැනීමට නම් ත්‍රිපිටකය කියවා එහි අඩංගු මිළ කළ නොහැකි අගනා කරුණු හරිහැටි දැනගත යුතුය.

හැම විහාරස්ථානයක ම ත්‍රිපිටක ග්‍රන්ථ තිබිය යුතුය. තිබුනාට මදි ඒවා දිනපතා කියවිය යුතුය. ඒ කියවන විට ඉබේම වාගේ කියවන්නාගේ හිතත් කයත් සංවර වෙයි. සකස් වෙයි. පුදුම සංයමයක් ඇති වෙයි. ත්‍රිපිටක ග්‍රන්ථයක් කියවීමෙන් ඇස් පනාපිට එබඳු ප්‍රතිපල ලැබේ නම් එහි අඩංගු එක ගුණධර්මයක් අනුව පිළිපැදීමෙන් ලැබෙන ප්‍රතිපල ගැන කවර කතා ද? බෞද්ධයන් වූ අප ළඟ, මහපොළොවෙන් මෙතෙක් ලෝකයට ලැබී ඇති සියලුම මැණික් වලට වඩා අගනා රත්න තුනක් තිබේ. ඒ ත්‍රිවිධ රත්නයයි. ඒ ත්‍රිවිධ රත්නයේ විස්තර අඩංගු මහා රත්න මංජුසාව ත්‍රිපිටකයයි. එයින් නියම ප්‍රයෝජන නො ගැනීම කෝටි ප්‍රකෝටියකට වඩා වටිනා මැණිකක් ළඟ තබාගෙන ඉන් ප්‍රයෝජන නොගැනීමට වඩා බරපතල මෝඩකමකි, අවාසනාවකි.

පන්සලක් ගානේ, පාසලක් ගානේ, ගෙයක් ගානේ, මං සන්දියක් ගානේ විශාල බුදුපිළිම තනා ගෙන මෙකළ කරන සියලුම ගරුබුහුමන් හා පුද පුජා ආමිස පූජා ය, ඒ ටිකවත් නො කරනවට වඩා එසේ කිරීම හොඳ ය. එහෙත් ඉන් ලැබෙන ආනිසංස ඉතා ස්වල්පයකි. අප එසේ කරන ගමන් බුදුගුණ වලින් එකම එකක් හරි, තෝරාගෙන ඒ අනුව පිළිපැදිය යුතුය. අත්හදා බැලීමක් වශයෙන් හරි, එක හොඳ ගුණ ධර්මයක් වැඩිය යුතුය. අප එක් එක්කෙනා බෝධිසත්වවරයෙකු හෝ බුදුවරයෙකු වෙන්නට ඉටා ගත යුතුය. උත්සාහ ගත යුතුය. ..."

මේ එහි අවසාන පිටුවේ සඳහන් කළ වචන කීපයකි.

" අවංක ව රට දැයට වැඩ කිරීමට හිත ඇති, කාලය ඇති, ශක්තිය ඇති, ඕනෑකම ඇති පිරිසක් භික්ෂුන් වහන්සේලා හැර වෙන නැත. උන් වහන්සේලා කෙරෙහි පෞද්ගලිකත්වයක් නැත. දැවැද්ද සපයා තියන්නට, බූදල් තනා තියන්නට, මුදල් රක්ෂණය කර තියන්ට භික්ෂුන් වහන්සේ ගෙන් යැපෙන, බලාපොරොත්තුවෙන එසේ නො කලත් දොස් කියන, ශාප කරන පිරිසක් නැත. ඒ නිසා ම කිසිවකුට බැඳීමක් නැත. එබැවින්ම නිදහසේ සේවය කිරීමට පිළිවන්කම ඇති එකම පිරිස භික්ෂුන් වහන්සේලා ය. මේ බුද්ධිමත් පිරිසෙන් මේ රට නියම ප්‍රයෝජන නො ගන්නේ මොන අභාගයක් නිසා ද?

යම් කිසි ශ්‍රේෂ්ඨ ආයතනයක් වෙනුවෙන් මුළු ජීවිතයම පරිත්‍යාග කොට සිටින, කැප කොට සිටින, බුද්ධිමත් අවිවාහක විසිදහසක් පමණ වූ සමාජ සේවක පිරිමි හමුදාවක් මේ රටේ සිටිති. ඒ බෞද්ධ භික්ෂුන් වහන්සේලා යි.ගම්වල දියුණුව සඳහා උන්වහන්සේලා ගෙන් ගත හැකි ප්‍රයෝජනය අප්‍රමාණය, රජුත්, මැති ඇමතිවරුනුත්, නිලධාරිනුත්, උන්වහන්සේලා කොන් කොට තබා තිබෙන තුරු මේ රට ඒ තරම් ලේසියෙන් හැදිය හැකි නො වනු ඇත...." අපට කියන්නද ඇත්තේ එපමණය.

මේ ග්‍රන්ථය පළ කරන්නේ ගුණසේන ප්‍රකාශන සමාගම විසිනි. ඔබ අපට මේ ග්‍රන්ථය මෙලෙස අන්තර්ජාලය හරහා කියවන්නට හැකි කම ලැබුනේ ද මේ ග්‍රන්ථය එලෙස මුද්‍රණය වන නිසා බව මතක තබා ගත යුත්තේය. අප ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙයින් එක් පිටපතක් හෝ මිලට ගන්නා ලෙසය. එසේ කොට ප්‍රකාශකයාට සහය වන්න. ඔබගේ දරුවන්ට , මිතුරන්ට, දෙමාපියන්ට, ඔබ දන්නා කවර කෙනෙකුට හෝ ත්‍යාගයක් ලෙස ලබා දෙන්නට මෙය ඉතාම වටනා ග්‍රන්ථයකි. ඔබ පාසලක, දහම් පාසලක ධර්මය උගන් වන්නේ නම් ඒ සදහා මේ ග්‍රන්ථය තරම් වටනා ග්‍රන්ථයක් නැත. එක් එක් සැඟවුණු පරමාර්ථ ඇතිව ලියැවුණු පෙළ පොත් පසෙක තබා, ගන්න මෙවැනි පොත්, කියාදෙන්න ඔබ ගේ දරුවන්ට, බුදුදහම තවත් විෂයයක් නොවන බවත් එය A සාමාර්ථ ගැනීමට ඇති තරගයක් නොවන බවත්, කියාදෙන්න ඒ උතුම් අපගේ බුදුරජාණන්වහන්සේ ගැන. අවසානයේ ඔවුන් A සාමාර්ථ ය ද ගනු ඇත ඔවුන් එලෙස සාමාර්ථ ගන්නේ ඒ උත්තරීතර ධර්ම මාර්ගයේ ගමන් කරමින්මය. එය තරම් ඔබට කළ හැකි වටනා යමක් නැත.වරෙක එක් සුදු ජාතික හිමිනක් මෙසේ ප්‍රකාශ කළේය " සිංහල මිනිස්සු ඉන්නේ රත්රන් පර්වතයක් උඩ, හැබැයි ඒ මිනිස්සු දන්නේ නැහැ ඒ පර්වතය රත්රන් කියා." ගණේගම හිමියන් කියා ඇත්තේද ඒ ටිකමය. අප ත්‍රිපිටකය කියැවිය යුතුය. මේ ධර්මය අවබෝධය උදෙසා මහන්සි ගත යුතුය. ඒ සදහා මේ ග්‍රන්ථය ඔබට උපකාර වේවා යන්න අපගේ ප්‍රාර්ථනා වයි.

බුදුහාමුදුරුවෝ by අපේ පොත් එකතුව on Scribd

1 comment:

අදහස්