සිංහල රට හා සිංහල ජාතිය

මේ මහැදුරු අබය ආර්යසිංහ යන් තමන්ගේ "සකල සිංහල චක්‍රවර්තී" ග්‍රන්ථයේ (1986) පළ කළ සටහන් කීපයක්

"...අද සිංහලයන් ගැන සඳහන් කරන ඇතැම් අය සිංහල වර්ගයා යනුවෙන් හඳුන්වා දෙති.සිංහලයන්ට පවරන මේ වරිග (වර්ග) කතාව අද ඊයේ ඇතිවූවක් නොවේ.ඉස්සර ප්‍රජාචාරය නම් විෂයයක් පාසල්වල උගැන්විනි.ඊට පොත් පත් ලියා හරිහම්බ කර ගත කට්ටියක් ද විය.ඒ භවත්හු සිංහල වර්ගයා,දෙමළ වර්ගයා,මුස්ලිම් වර්ගයා,බර්ගර් වර්ගයා,යනුවෙන් මෙහි වාසභූමි කරගෙන සිටින ජනයා බෙදුහ.ඒ ඒ වර්ගයා එක් වීමෙන් ලාංකිකයා නම් අමුතු කෘත්‍රීම පුද්ගලයකු බිහි කිරීමට ඒ චින්තනය වැර ගත්තේ ය.එය හරි ගියේ ය.ඒ කෘත්‍රීම දරුවා බිහි වි ය.උන් හදා වඩා ගන්නට දේශපාලඥයෝ දෑත් දිගු කළහ;කටට සූප්පු දුන්හ.ඌ දැන් හැඩිදැඩි පුද්ගලයෙකි.සිංහලයෙක් නොවේ.දුටු තැන - විශේෂයෙන් සිංහලයා දුටු තැන පසු පස්සේ එළවයි.අවි අමෝරාගෙන ම එළවයි..."

..."එකම සම්භවයක් ඇති ජනකායකින් ජාතියක් නිර්මාණය වේ.ඇතැම් විට ඒ ජනකායට වෙනත් වෙනත් මුලයන්ගෙන් හටගත් සුළු ජන කොටස් විවිධ කාරණා හේතුකොට ගෙන ඇතුල් වී ඇති බව දක්නට ලැබේ.එහෙත් ඒ කිසිවෙකුගේ නමින් ජාතිය හඳුන්වනු නොලැබේ.ජාතිය හඳුන්වන්නේ පොදු සම්භවය ඇති ප්‍රධාන ජනතාව නමිනි..."

"...පන්සලේ ද පල්ලියේ ද කෝවිලේ ද දැල්වෙන්නේ එකම පහන ය යි කල්පනයක් දැන් දැන් අසන්නට ලැබේ.ලෑලිවල කියවන්නට ලැබේ.එය අහේතුක ප්‍රලාපයකි.සම්බුදුරජාණන් වහන්සේ විසින් තර්කයෙන් බිඳ දැමූ මිසදුටු පහන් කබල් අවුලාගෙන දූවිලි පියා තෙල් වැටි දමා යලි දල්වන්නට තැත් කරන්නෝ ඔබට පිටුපා යන්නෝ ය.වල්මත් වී හසරක් නොදන්නා පන්ථකයෝ ය.

පන්සලේ පමණක් දැල්වෙන පරම පවිත්‍ර පහන නිසා සිංහලද්වීපය ධර්මදීපය වී ඒකාලෝක වූ බව ඒ පන්ථකයන් දැන්වත් දතයුත්තේ ය.

වරක් දෙවරක් නොව දසාධික වාරයක් සිය මවුබිම රැකීම උදෙසා සිංහලයා අවශ්‍ය වූ විට අවි ගත්තේ තමා උපන් සිංහල ජාතිය ජාත්‍යාලයෙන් පන්නරය ලබා සිටි බැවිනි.ඒ ජාත්‍යාලය අවුරුදු දෙදහස්පන්සිය තිහකටත් වැඩි කාලයක් තිස්සේ දැඩි වී ආ ජීවපදාර්ථයකි.ඔවුන් එය තමන් රැක ගැනීමට විනා අනුන් අහේතුකව පෙළීමට කවරදාකවත් මෙහෙයවා නැත.අද මෙවන් ජාතියක් රැක ගැනීමට කතාකරන්නා, ලියන්නා, ගයන්නා, ඇතැමකුට ජාතිවාදියෙකි.වන්නාට ය...."



(උපුටා ගැනීම Sinhala Buddhist වෙතිනි.)

මේ කේ.ජී කරුණාතිලක යන් 1997 දී තැබූ සටහනක් ,

"ඉහත සඳහන් කළ පරිදි අපගේ තරුණ පරපුර සාහිත්‍යය යෙන් ඈත් වීමට එක් හේතුවක් වුයේ,ඔවුන්ගේ රුචියට ද ,වයසටද ,මානසික මට්ටමටද ගැළපෙන රසවත් පතපොත නිෂ්පාදනය නොකිරීමය. එය හැර මේ තත්ත්වය ඇති කර ලීමට තවත්ද ප්‍රබල හේතුවක් තිබෙන බව මෙහි ලා සඳහන් කල යුතුය.එනම් අපගේ පාඨශාලා විෂය මාලාවෙන් සාහිත්‍ය ඉවත් කිරීම හෙවත් සාහිත්‍ය කප්පාදු කිරීමයි. පාඨශාලා විෂය මාලාවෙන් මෙසේ සාහිත්‍ය කප්පාදු කිරීම නිසා අපගේ තරුණ පරම්පරාව කෙරෙන් කියවීමේ රුචිය නැතිවී ගියේය.ඉක්බිතිව ඊටද වඩා බරපතල හානියක් ජාතික වශයෙන් සිදු වුයේය.සාහිත්‍ය යට පමණක් නොව ,වෙනත් කලා විෂයයන්ටද කුඩම්මාගේ සැලකිල්ල දැක්වීමෙන්,පිට රැටියන්ටත් ,පිටරටවලටත් නිවට නින්දිත දීනයන් සේ ගැතිකම් දක්වන අපගේ ඊනියා “අධ්‍යාපනඥයන් “ සිංහල ජාතියට කළේ මහා විපත්තියකි.

කලා විෂයයන් අතර,සාහිත්‍ය ට ලැබෙනුයේ ප්‍රධාන ස්ථානයයි.මිනිසා සංවේදී බවට පත් කරන්නේද,මිනිසා තුළ මුදු මොළොක් හැගීම් ජනිත කරන්නේද,ඊර්ෂ්‍යාව,ක්‍රෝධය,මාත්සර්යය,වෛරය හා පළිගැනීම ආදි දුර්ගුණ මිනිස් සිත් සතන් වලින් තුරන් කොට,කරුණාව මෛත්‍රිය දයාව දාක්ෂිනයය ආදි සත්ගුණ මිනිසා තුළ රෝපණය කරන්නේද සාහිත්‍යයි. මේ සිංහල රටත්,මේ සිංහල ජාතියත් සුඛිත මුදිත කිරීමට නම් ,නිදහස් හා නිවහල් කිරීමට නම්,අදීන හා අභිමානවත් කිරීමට නම් ප්‍රෞඩ හා ප්‍රතාපවත් කිරීමට නම් කිසිම දෙයක් සෑදීමට පෙර අප සිංහල මිනිසා සෑදිය යුතුය.

මා මෙහිදී ,අප වාසය කරන මේ රටට සිංහල රට යැයි කීවේ,සැබවින්ම මෙය සිංහලයාගේ රට වන හෙයිනි. මේ රට එකල හැදින්වුයේ සිංහලේ නමිනි .සිංහලයාගේ මේ රටට ලංකාව කියා හෝ ශ්‍රී ලංකාව කියා හෝ කීමට මම නොකමැත්තෙමි. මෙය ලංකාවක් හෝ ශ්‍රී ලංකාවක් නොව සිංහල ද්වීපය වෙයි.මේ අපගේ රටට ශ්‍රී ලංකාව යැයි කියනුවට වඩා ඉංග්‍රීසියෙන් කියන්නාක් මෙන් සිලෝන් යැයි කීමට මම කැමැත්තෙමි.කුමක් නිසාද යත් සිලෝන් යන්නෙහි “සිංහල ද්වීපය”යන්න අන්තර්ගතව ඇති හෙයිනි.අන් වචන වලින් කිවහොත් සිලෝන් යන වචනය සෑදී ඇත්තේ සිංහල ද්වීපය යන වචන දෙකෙන් හෙයිනි.ඒ මෙසේය .මුලින්ම මේ ද්වීපයට සිංහලයාගේ ද්වීපය යන නම ව්‍යාවහාර වූයේය.ඒ ක්‍රිස්තු වර්ෂ දෙවන තුන්වන ශතවර්ෂ වලටද ඉහතදීය.ඒ කාලයේ සිංහල ද්වීපයට වෙළෙදාම් පිණිස පැමිණි අරාබි ජාතිකයින් තමන්ට සිංහල ද්වීපය යන්න නියම අන්දමින් උච්චාරණය කළ නොහැකිවූ බැවින් සිංහල ද්වීපය යන්න සෙලෙන්දිවු යන්නට හරවා ගත්තෝය.පසු කාලයකදී මෙහි පැමිණි මුසල්මානුවෝ මේ නම සෙලාන් යන්නට පෙරලා ගත්හ.ඊට පසු කලෙකදී මෙහි පැමිණි පෘතුගීසි,ඕලන්ද හා ඉංග්‍රීසි ජාතිකයෝ ඒ සෙලාන් යන්න සිලෝන් යන්නට හරවා ගත්හ.සිංහල ද්වීපය යන්න කාලයාගේ ඇවෑමෙන් සිලෝන් වූ හැටි මෙයින් ඉතා පැහැදිළිව පෙනී යයි.මේ අපගේ ද්වීපයට ශ්‍රී ලංකාව යැයි කීමට වඩා සිලෝන් යැයි කීම මනා යැයි මා කීවේ එ හෙයිනි.එහෙත් බිදී ආ වචනයකට වඩා “සිංහල ද්වීපය”යන්නම අපගේ මාතෘ භුමීය වෙනුවෙන් ව්‍යවහාර කිරීම උචිත යැයි මම සිතමි.

මේ සිංහල ද්වීපයට “ශ්‍රී ලංකාව යැයි ව්‍යවහාර කිරීම නිසා සිංහලයාට තමා සිංහලයා යැයි කීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. රටේ නම අනුව ඔහු කිව යුත්තේ,තමා ශ්‍රී ලාංකිකයෙක් යැයි කියාය. ඒ අනුවම මෙහි වසන දෙමළු ද,මරක්කලයෝ ද, වෙනත් ජාතිකයෝ ද ශ්‍රී ලාංකිකයෝ වෙති.මෙහිදී සිංහලයාගේ අනන්‍යතාවයට සිදු වනුයේ කුමක්ද? මේ නම අනුව අප ගේ ඉතිහාසඥයෝ ද පුරාවිද්‍යාඥයෝ ද තම තමන් ගේ කෘතිවලට “ශ්‍රී ලාංකික ඉතිහාසය “ “ශ්‍රී ලාංකික පුරාවිද්‍යාව “ යනුවෙන් නම් යොදා ගනිති.”ශ්‍රී ලාංකික ඉතිහාසයක්” හෝ “ශ්‍රී ලාංකික පුරාවිද්‍යාවක් “ මේ සිංහල ද්වීපයේ තිබුනේ කවර කලෙකද ?දෙමළ ජාතික ආනන්ද කුමාරස්වාමි මහතා ,සිය මහා ග්‍රන්ථය නම් කෙළේ ,”මධ්‍ය කාලීන සිංහල කලා ශිල්ප “යනුවෙන් විනා,”මධ්‍ය කාලීන ශ්‍රී ලාංකික කලා ශිල්ප” යනුවෙන් නොවේ.

සිංහලයාට ඉපැරණි ඉතිහාසයක් ඇත්තේය.සිංහලයාගේ ලේඛන කලාව ක්‍රිස්තු පූර්ව තුන් වන ශත වර්ෂයේ සිට මේ මා ලියන මොහොත දක්වා අඛණ්ඩව පවත එන්නකි.සිංහල ජාතියද ඒ තරම්ම පැරණිය.වෙනත් වචනවලින් කිවහොත්,සිංහල ජාතිය තරම් පැරණි ජාතියක් ලෝකයේ කිසිම රටක නැත.සිංහල ජාතිය ශත වර්ෂ විසි පහක පමණ කාලයක් තිස්සේ අඛණ්ඩව පවත ගෙන එන්නකි.වර්තමාන ග්‍රීකයෝ පැරණි ග්‍රීකයන්ට වඩා මුළුමනින්ම වෙනස් වුවෝ වෙති.වර්තමාන ග්‍රීක ලේඛනය පැරණි ග්‍රීක ලේඛනයට හාත් පසින්ම වෙනස්ය.වර්තමාන රෝමකයා පැරණි රෝමකයාට වඩා මුළුමනින්ම වෙනස්ය.චීනය ගත ද ජපානය ගත ද වෙන අන් ඕනෑම රටක් ගත ද තත්ත්වය එ සේමය.

එහෙත් සිංහලයා සම්බන්ධයෙන් එය එසේ නොවේ.සිංහලය සතුව අද පවතින්නේ ද එදා පවතී ක්‍රිස්තු පූර්ව තුන් වන ශත වර්ෂයේ ලේඛන ක්‍රමය මය.එය කාලයා සමඟ ක්‍රමයෙන් වෙනස් වී ,ක්‍රමයෙන් විකාශනය වී වර්තමාන තත්ත්වයට පත් වී තිබෙන සැටි ඕනෑම කෙනෙකුට වටහා ගත හැකිය.සිංහලයා ද එසේමය. අද සිටින්නේ එදා සිටි සිංහලයා මය .ශත වර්ෂ විසි පහකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩවම පැවත එන ලේඛන ක්‍රමයක් ද,චාරිත්‍ර වාරිත්‍ර හා සංස්කෘතියක් ද ඇති අඛණ්ඩවම පැවත එන එකම ජාතිය සිංහල ජාතියයි.

මේ බව අද සිටින වර්තමාන සිංහලයා වටහා ගත යුතුය.පරජාතිකයන් ගෙන්ද ,සිංහලයා අතර සිටින ජාති භ්‍රෂ්ට ජාති ද්‍රෝහී සිංහලයන් ගෙන් ද කෙතරම් නින්දා ,අවමාන ,ගැරහුම් හා පරිභව ලැබුවද,සිංහලයා ප්‍රෞඩ ,ප්‍රතාපවත්,ගුණ ගරුක ,ප්‍රතිපත්ති ශීලී මනුෂ්‍යයකු බව අප වටහා ගත යුතුය.තම පරම සතුරා ,හේතු යුක්ති ඇතිවම මරා හෙළු තැනින් ,යාන වාහන වලින් ගමන් කිරීමත් පා වහන් ලා ගමන් කිරීමත් පසඟතුරු ගොසින් යෑමත් තහනම් කෙළේ වීරෝදාර සිංහල නරපතියෙකි.එවැන්නක් කළ එක ද නරපතියෙකු මුළු මහත් ලෝක ඉතිහාසයෙන් ම සොයා ගත හැකිද?රටත් ජාතියත් ආගමත් ගළවා ගනු පිණිස,තමා ගමන් කළ රථයෙන් බැස ,සතුරු පිරිස මධ්‍යයේ දී පා ගමනින් ගමන් කෙළේ ,පැරණි සිංහල වීරෝදාර කාන්තාවකි.ලෝක ඉතිහාසයේ කුමන ජාතියකින් ඒ බඳු කාන්තාවක් සොයා ගත හැකිද? කාමයෙන් හා කෝපයෙන් නොමඟ ගිය වඩුග රජුගේ නොමිනිස් අණ නිසා,මරණීය දණ්ඩනයට නියම වුණු සය අවුරුදු දරුවා,ගහලයා දෙසට හැරී,”ගහලය ,එකම කඩු පහරකින් මගේ ගෙල සිඳ දමව!” යි කීවේද කටේ කිරි සුවඳ නොගිය සිංහල කොලු පැටියෙකි. ඒ බඳු කොලු පැටියෙකු මුළු මහත් ලෝක ඉතිහාසයේ කුමන ජාතියකින් සොයා ගත හැකිද?

මා මේ අතීතය සිංහලයාට මතක් කරන්නේ,ඔහු උදාර ඉතිහාසයකට,අභිමානවත් ජාතියකට,ප්‍රතාපවත් වීර ස්ත්‍රී පුරුෂයන් ගෙන් පූර්ණ පරම්පරාවකට,උරුම කියන්නෙකු බව පහදා දීමටය.සිංහලයාගේ උදාර වූ ද,කරුණා ක්ෂමා දයා දාක්ෂිනයාදී මහඟු වූ ද ගුණ ධර්ම නිසා,පරජාතින් ඔහුගේ හිසට අත සෝදන්නට ගියද සිංහලයා කී කලෙක වත් නිවට නෝන්ජල් නෝණ්ඩියකු නම් නොවූයේය.

සාහිත්‍ය ,ඉතිහාසය ,පුරාවිද්‍යාව,ජනශ්‍රැතිය හා වීර චරිතාපදාන ආදිය,ජාතියක් එකට බැඳ තබන බැමි වෙයි.මේවා හාස්‍යයට ලක් කිරීමෙන් ද මේවට බැණ වැදීමෙන්ද මේවා හෑල්ලු කොට අවතක්සේරු කිරීමෙන්ද සිදුවනුයේ ,ජාතිය එකට බැඳී ඇති බැමි සිඳී,ජාතිය සී සී කඩ වී අබල දුබල වී විසිරී යෑමය.සාහිත්‍ය දැනටම කප්පාදු කර ඇත.සිංහල ඉතිහාසය සිංහල දරුවන්ට ඉගැන්වීම නතර කිරීමට දැන් කටයුතු පිළියෙළ කරගෙන යයි.සිංහල ජාතියේ ඇසට වැලි ගැසීම දැන් කලෙක සිට පවත්නා සුක්ෂම ක්‍රියාවලියක් බව කිව යුතුය.

සිංහල ඉතිහාසය,සිංහල ළමයින්ට ඉගැන්වීම නතර කරන්නට යන්නේ ජාතික සමගිය උදෙසා යැයි කියති.එහෙත් අප සිතන අන්දමට නම් එයින් සිදු වන්නේ උදාර ගති ගුණවලින් පිරිහුණු,රටක් ජාතියක් ආගමක් නැති මුල් සිඳුණු,නරුමයන් රැළක් බිහිවීම පමණි.ජාතික සමඟිය උදෙසා කළ යුත්තේ සිය ජාතික ඉතිහාසය ළමයින්ට උගන්වන අතරම,අන් ජාතිකයන්ගේ ඉතිහාසයට ගරු කිරීමට ද ඉගැන්වීමය.සිය ජාතික ඉතිහාසය තරම් ම අන් ජාතිකයන්ගේ ඉතිහාසය උසස් යැයි වටහා දීමය.ජාතික සමඟිය ඇති කළ හැක්කේ එ බඳු ක්‍රියා මාර්ගයකිනි.නො ඒ සේව ,ඉතිහාසය මුළු මනින්ම නූගන්වා සිටීමෙන් නොවේ.

තමන් කුශාග්‍ර බුද්ධිමතුන් යැයි සිතා ගෙන සිටියද,කිසිවෙකුට තමන් නොරැවටිය හැකි තරමට තමන් ශඨ කූට කපටි කෛරාටිකයනැ යි සිතා ගෙන සිටියද,සැබවින්ම අදුර දර්ශි,අත්තනෝමතික,ආත්මාර්ථකාමී,ජාති ද්‍රෝහී,ජාති භ්‍රෂ්ට,අන්ත මූඪයන් වන සිංහලයන් අතළොස්සක් පෙරටු කර ගෙන පරජාතිකයින් ගෙන යන්නා වූ කූට ප්‍රයෝගයන් නිසා,ශත වර්ෂයක් ඇවෑමෙන් සිංහලයාගේ ආයාමය ද අභාවයද සිදු වනු ඒකාන්තය.මුලින්ම සිදුවනුයේ සිංහල නාමය අහෝසි වී ඔහු ශ්‍රී ලාංකිකයා වීමය.ඊ ළඟ අවධිය වනුයේ, ශ්‍රී ලංකිකයා වන සිංහලයා මුළු මනින්ම අභාවයට පත් වීමය.ඉක්බිතිව සමස්ත මහා ධරණී තලයේම සිංහල නාමයක් අසන්නට වත් නොලැබෙනු ඇත.

අතීතයෙහි මහා සමෘද්ධියකින් හා සෞභාග්‍යයකින් ඉතා බලසම්පන්නව විසු මහා ජාතීහු,පරසතුරු උපද්‍රවවලින් හෝ අදුර දර්ශි ස්වදේශිකයන්ගේ පිළිකුල් කටයුතු ක්‍රියාවලින් හෝ අභාවයට පත්වීමෙන් අද දක්නට නොමැත්තාහ.අතීතයේ විසූ හිටයිට්ස්වරු අද කොහිද?අතීතයේ විසූ මෙසපොතේමියානුවෝ අද කොහිද?බැබිලෝනියන් වරු අද කොහිද?කැල්ඩියන්වරු අද කොහිද?පුරාණ මිශ්‍ර දේශ වාසීහු අද කොහිද?ඇසිරියන්වරු අද කොහිද?ෆිනිශියන්වරු අද කොහිද? ඒ සියලු ම ජාතින් අද අභාවයට පත්ව ඇත්තාහ.අද අවශිෂ්ට වී ඇත්තේ,ඔවුන් තැනූ ගොඩ නැගිලිවල නෂ්ටාවශේෂ පමණි.සිංහලයාද ළඟ එන්නා වූ ශත වර්ෂයේ දී අභාවයට පත් වූ කළ,ඔහු තැනූ මහා ගොඩ නැගිලි පමණක් අවශිෂ්ට වනු ඇත.

එහෙත් මේ අතින් බලන කළ ද,බැබිලෝනියන්වරුන්,කැල්ඩියන්වරුන් හා ඇසිරියන්වරු වැනි පුරාණ ජාතීන් සිංහලයන්ට වඩා භාග්‍යසම්පන්නයන් බව පෙනේ.කුමක් නිසාද යත්,ඔවුන්ගේ නම්වලින්ම ඒ නම් බැබිලෝනිය නෂ්ටාවශේෂ,කැල්ඩියානූ නෂ්ටාවශේෂ හා ඇසීරියානු නෂ්ටාවශේෂ යන නම්වලින් හඳුන්වනු ලබන හෙයිනි.එහෙත් සිංහල ජාතියේ මළගමින් පසු ,සිංහලයන්ගේ නෂ්ටාවශේෂ හදුන්වනු ලබන්නේ “ශ්‍රී ලාංකික නෂ්ටාවශේෂ “යනුවෙනි.ජාති ද්‍රෝහී ,කාලකන්ණි මූසල සිංහලයන් අතළොස්සක් නිසා,සිංහලයන්ගේ නෂ්ටාවශේෂ වලට පවා සිංහල නාමය නොලැබෙනු ඇත.එවිට ඒ උදාර ගොඩනැගිලි කර්මාන්තාදියට දෙමළුන් ද මරක්කලයන් ද හවුල් වූ හයි අනාගත පරපුර සිතනු ඇත.

අනගාරික ධර්මපාල උතුමාණන් ,වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමි පාණන් ,හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමි පාණන් ,වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි පාණන් ,පියදාස සිරිසේන මහා ලේඛකයාණන් ,මුනිදාස කුමාරතුංග මහා ශාබ්දිකයාණන් ,එල්.එච් මෙත්තානන්ද මහතාණන්,ඊ .ඩබ්ලිවු. පෙරේරා මන්ත්‍රීවරයානන් ,ජේම්ස් පීරිස් ශ්‍රීමතාණන්,වාරියපොළ සුමංගල මාහිමි පාණන්,ඩී.බී.ජයතිලක ශ්‍රීමතාණන් ,ටිබෙට් එස් .මහින්ද හිමිපාණන් ආදීන් සිටිය යුත්තේ අදය.ඔවුන්ගේ පුනරාවතාර හෝ මතු වෙත් නම්,සිංහලයාට කෙතරම් භාග්‍යයක් ද? "